අට්ඨාන පාළිය
අට්ඨනෙ පාළියෙහි අට්ඨානං යනු හේතු ප්‍රතික්‍ෂෙපයයි. අනවකාසො යනු ප්‍රත්‍යය ප්‍රතික්‍ෂෙපයයි. දෙකින්ම කාරණය (සාධකය)ම ප්‍රතික්‍ෂෙප කරයි. කාරණය වනාහි එයට අයත් පැවත්ම ඇති බැවින් තමන්ගේ ඵලයට ස්ථානයයිද අවකාශයයිද කියනු ලැබේ. යං යනු යම්කිසි කරුණකින්ය. දිට්ඨසම්පනේනා යනු මාර්‍ගදෘෂ්ටියෙන් යුක්තවූ සෝවාන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේයි. ඔහුට වනාහි දෘෂ්ටියෙන් යුක්තවූයේ යනුද මේ සද්ධර්‍මයට පැමිණියේ යනුද මේ සද්ධර්‍මය දකියි යනුද ශෛක්‍ෂ ඥානයෙන් යුක්තවූයේ යනුද ශෛක්‍ෂ විද්‍යාවෙන් යුක්තවූයේ යනුද ධර්‍ම ශ්‍රොතසින් යුක්තවූයේ යනුද ආර්‍ය්‍යවූ තියුණු ප්‍රඥ ඇත්තේ යනුද අමා දොර පැහැර සිටී යනුද බොහෝ නම් වෙත්. කඤ්චි සංඛාරං යනු චාතුර් භුමික වූ සංස්කාරයන් අතුරෙන් කිසි එක් සංස්කාරයකුදු යනුයි. නිච්චතො උපගචේඡය්‍ය යනු නිත්‍යයයි ගන්නෙයි. නෙතං ඨානං විජ්ජති යනු මේ කාරණය නැත. නොඑළමේ යනුයි. යං පුථුජ්ජනො යනු යම් කරුණකින් පෘථග්ජනවූයේයි. ඨානමෙතං විජ්ජති යනු මේ කාරණය ඇත යනුයි. ශාශ්වත දෘස්ටියෙන් හෙතෙම ත්‍රෛභූමික සංස්කාරයන්ගෙන් කිසි සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේය යනාර්‍ත්‍ථයි. චාතුර්ථභූමක සංස්කාරයෝ වනාහි තෙද වැඩිබැවින් මැස්සන්ට දවසම රත්වූ යගුළියක් මෙන් දෘෂ්ටියට හෝ අනෙක් අකුසලයන්ට හෝ අරමුණක් නොවෙත්. මේ ක්‍රමයෙන් කංචි සංඛාරං සුඛතො යනාදියෙහිද අර්‍ත්‍ථය දතයුතුයි.
සුඛතො උපගචේඡය්‍ය යනු ඒකාන්ත සුඛවූ ආත්මයක් වෙයි. මරණින් මතු රෝග නැත්තේයි මෙසේ ආත්මදෘෂ්ටි වශයෙන් ගැනීම සඳහා කියනලදී. පරිළාහයෙන් මැඩුණු ආර්යශ්‍රාවකතෙමේ දෘෂ්ටියෙන් තොර සිතින් මත් ඇතෙකු නිසා තැතිගත් පිරිසිදු බමුණෙකු අශූචියකට මෙන් කිසියම් සංස්කාරයකට එළමෙයි.
ආත්මවාරයෙහි කසිණාදී ප්‍රඥප්ති සංග්‍රහ කරනු සඳහා සංස්කාරයයි නොකියා කංචධම්මංයි (කිසිධර්‍මයකැයි) කියනලදී. මෙහිදී ආර්‍ය්‍යශ්‍රාවකයාගේ චාතුර්භූමික වශයෙන් පරිච්ඡේදය (සීමාව) දතයුතුයි. පෘථග්ජනයාගේ ත්‍රෛභූමික වශයෙනි. සියලු වාරයෙහි හෝ ආර්‍ය්‍යශ්‍රමකයාගේද ත්‍රෛභූමික වශයෙන් පරිච්ඡේදය වටියි. පෘථග්ජනයා යමක් යමක් ගනීද එයින් ආර්‍ය්‍යශ්‍රාවකයා ගැනීම අන් අතට පෙරළයි. පෘථග්ජනයා වනාහි යමක් යමක් නිත්‍ය්‍ය, සැපය, ආත්මයයි ගනීද ආර්‍ය්‍යශ්‍රාවකයා එය අනිත්‍යය, දු:ඛය, අනාත්මයයි ගන්නේ ඒ ගැනීම අන් අතට පෙරළයි. මෙසේ මේ සූත්‍ර තුනෙහි පෘථග්ජනයාගේ ආත්ම ග්‍රහය පෙරළා දැමීම නම්වූ දෙය කියනලදී.
මාතරං යනාදියෙහි උපදවන්නීම මවයි. උපදවන්නා පියායි. මිනිසෙක්වූ ක්‍ෂීණාශ්‍රවයන්වහන්සේ රහතන්වහන්සේයයි අදහස් කරනලදී. කිමෙක්ද ආර්යශ්‍රාවක තෙමේ අන්‍යයෙකු ජීවිතයෙන් තොරකරන්නේද? යන මෙයද අහේතුකය (නොසිදුවේ). ඉදින් තමන් ආර්‍ය්‍යශ්‍රාවකයෙකුබවට නොදන්නාවූ භවාන්තරගත (කළුරිය කළ) ආර්‍ය්‍යශ්‍රාවකයෙකුට යමෙක් ‘මේ කුරුකුහුඹියා ජීවිතයෙන් තොර කොට සියලු සක්වල ගැබෙහි සක්විති රජකම පිළිපදුව’යි මෙසේ කියන්නේද හෙතෙම ඒ කුරුකුහුමියා ජීවිතයෙන් තොර නොකරන්නේමය. තවද ඔහුට, ඉදින් මොහු නොමරන්නෙහි නම් ඔබේ හිස සිඳින්නෙමු’යි මෙසේ කියන්නහුද ඔහුගේ හිසම සිඳින්නාහුය. හෙතෙම ඔහු නොමරන්නේමය. පාථග්ජන භාවයාගේ මහා සාවද්‍යබව දැක්වීම සඳහාත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ බලය දැක්වීම සඳහාත් මෙය කියනලදී. මෙයම මෙහි අභිප්‍රායයි: ‘පෘථග්ජනභාවය සාවද්‍යය. යම් තැනක පෘථග්ජන තෙමේ මවුමැරීම් ආදී ආනන්තර්යයන් කරන්නේද යම් මහා බලවත්වූ ආර්‍ය්‍යශ්‍රාවක කෙනෙක් වේද හෙතෙම මේ කර්‍ම නොකරයි.’
දුට්ඨචිත්තෝ යනු වධක සිතින් ප්‍රදුෂ්‍යවූ සිත් ඇත්තෙයි. ලොහිතං උප්පාදෙය්‍ය, යනු ජීවත් වන ශරීරයෙහි කුඩා මැස්සකු බෙනා තරම්වූද ලේ උපදවන්නේයි
සංඝංහින්‍දෙය්‍ය යනු සමාන සංවාසකවූ සමාන සීමාවෙහි සිටියාවූ සංඝයා කරුණු පසකින් බිඳුවන්නේය. මෙය කියනලද්දේමැයි: ‘උපාලි, පස් ආකාරයකින් සංඝයා බිඳෙයි. (සංඝ) කර්‍මයෙන්, උදෙසීමෙන්, (අධර්‍මය ධර්‍මයයි ආදී වශයෙන්) බැවහර කරමින්, අනුශ්‍රාවනයෙන් ලහගැනීමෙන් (යන කරුණු පසිනි.)