එකධම්ම පාළිය
පළමු වර්ගය
එකධම්මපාළියෙහි එකධම්මො යනු එක් එක් ස්වභාවයකි. එකනතනිබ්බිදාය යනු එකාන්තයෙන්ම සසරෙහි කළකිරීම, උකටලීවීම සඳහායි. විරාගය යනු සසරෙහි නොඇලීම සඳහායි. රාගාදීවූ කෙලෙසුන්ගේ නොඇලීම දුරුකිරීම සඳහාය යනුයි. නිරොධාය යනු රාගාදීන්ගේ නිරෝධය සඳහා නොපැවැත්ම ඇති කරනු සඳහායි. සසරෙහිම නිරුද්ධවීම සඳහායි. උපසමාය යනු කෙලෙසුන් ව්‍යාපසමනය කරනු සඳහායි. අභිඤ්ඤාය යනු අනිත්‍යාදි වශයෙන් ලක්‍ෂණත්‍රයට නංවා මනාව දැනීම සඳහායි. සම්බොධාය යනු සිවුසස් අවබෝධ කර ගැනීම සඳහායි. සතර මාර්‍ගයන්හි ඥානය බෝධියයි කියනු ලැබේයයි මෙසේ කියනලද සතරමාර්‍ගඥානය හෝ අවබෝධ කිරීම සඳහායි නිබ්බානාය යනු ප්‍රත්‍යය රහිත නිර්‍වාණය ප්‍රත්‍යක්‍ෂ කරනු සඳහායි.
මෙසේ භාග්‍යවතුන්වහන්සේ මේ සත් පදයන්ගෙන් බුද්ධානුස්මෘති කර්‍මස්ථානයාගේ වර්‍ණනාව කළ සේක. කුමක් හෙයින්ද යත්? විසකණ්ඩක වෙළෙන්දා තමන්ගේ වෙළඳබඩුවලට මෙන් මහජනයාට උනන්දුව ඇති කරලනු සඳහායි. විසකණ්ටක වෙළෙන්දා නම් සකුරු වෙළෙන්දායයි කියනු ලැබේ. හෙතෙම උක්සකුරුපැණි කැටහකුරු ආදිය ගැලෙන් ගෙන පසල් ගමට ගොස් විසකණ්ටක ගනුව විසකණ්ටක ගනුවයි හඬනැඟීය. එය අසා ගැමියෝ විසය නම් දරුණුය, භයානකය යමෙක් ඒවා කයි නම් හෙතෙම මැරෙයි. කටුවද විද මරයි. මේ දෙකම දරුණුය. මෙහි කවර අගයක්දැයි දොරවල් වැසුවාහුය. දරුවන්ද පළවා හැරියහ. වෙළෙන්දා එය දැක මේ ගැමියෝ ව්‍යවහාරය නොදන්නහුය. උපායෙන් මොවුන් ලවා ගන්වන්නේමැයි ඉතා මිහිරි දෙය ගන්න, ඉතා රසවත් දෙය ගන්න, උක් හකුරු පැණි සම අගයට ලැබෙයි. කූට මසුරන් කූට කහවණු ආදියෙන්ද ලැබේයයි හඬ නැංවීය. එය අසා ගැමියෝ සතුටු සිත් ඇතිව ගොස් බොහෝවූද මිල දී ගත්තාහුය.
එහි භාග්‍යවතුන්වහන්සේගේ බුද්ධානුස්සති කර්‍මස්ථානය කීම වෙළෙන්දාගේ විසකණ්ටක ගනුවයි හඬ නැඟීම මෙනි. මේ පදසතින් බුද්ධානුස්සති කර්‍මස්ථානයෙහි වර්‍ණනාව කීමෙන් එහි මහජනයා උනන්දු කරවීම විෂකණටකයෙහි ගුණ කියා එය ගැනීම සඳහා මහජනයා උනන්දු කරවීම මෙනි.
කතමො එක ධම්මො යනු කියනු කැමති(ව) විමසීමයි. බුද්ධානුස්සති යනු බුදුන් අරබයා උපන් යළියළිත් සිහිකිරීමයි. බුදුගුණය අරමුණු කොට ඇති සිහියට මෙය නමෙකි. ඒ මේ බුද්ධානුස්මෘති කර්‍මස්ථානය දෙපරිදි වෙයි. සිත සතුටුවීම සඳහා මෙන්ම විපස්සනාව සඳහාද යනුවෙනි. කෙසේද? යම් විටෙක අසුහාරම්මණයන් අතුරෙන් යම් අරමුණක් වඩන්නාවූ භික්‍ෂුවගේ සිත හට ගැනීම වෙහෙසෙයි. කළකිරෙයි. ආස්වාද රහිත වෙයි. වීථියට නොඑළඹෙයි. කුළු ගොනෙකු මෙන් ඔබිමොබ දුවයි. එකෙණෙහි එය මුල් කොට ඇති කර්‍මස්ථානය හැර බුදුරජාණන් වහන්සේ ඒ කාරණයෙනුදු භාග්‍යවත් වනසේක. (ඉතිපිසො භගවා) යනාදී ක්‍රමයෙන් තථාගතයන් වහන්සේගේ ලෞකික ලෝකෝත්තර ගුණයන් සිහි කරයිද මෙසේ බුදුන් සිහි කරන්නාවූ ඔහුගේ චිත්තොත්පාදය පහදියි. නීවරණ රහිත වූයේ වෙයි. හෙතෙම ඒ සිත දමනය කොට මනාව දමනය කොට නැවත මුල් කමටහනම සිහි කරයි. කෙසේද? යම් සේ නම් බලවත් පුරුෂයෙක් කුළුගෙයි කැණිමඬල සඳහා මහ ගසක් සිඳින්නේ අතුරපතර කැපීමේදී පොරෝ මුවත නැතිවූ විට මහගස කැපීමට නොහැක්කේ වුවද අදහස අත නොහැර කම්මලට ගොස් තියුණු පොරොවක් කරවා යළි ඒ ගස සිඳින්නේද එසේ මේ කාරණය දතයුතුය. හෙතෙම මෙසේ බුද්ධානුස්සති වශයෙන් සිත මනාව දමනය කොට යළි මුල් කමටහන මෙනෙහි කරන්නේ අසුභාරම්මණ සහිත වූ ප්‍රථමධ්‍යානය උපදවා ධ්‍යානාංග සම්මර්‍ශනය කොට ආර්‍ය්‍ය භූමියට බැස ගනී. මෙසේ සිත සතුටුවීම සඳහා වෙයි.
යම් කලෙක වනාහි මෙතෙම බුද්ධානුස්මෘතිය සිහි කොට කවරෙක් මේ භාග්‍යවතුන් වහන්සේ වන සේක්දැයි ආදි ක්‍රමයෙන් සිහි කළේද? ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද දෙවිමිනිස් මාර බ්‍රහ්මයන් අතුරෙන් යම් කෙනක්දැයි සලකන්නේ, අන් කිසිවෙක් නොවේ. සිහියෙන් යුත් සිතම සිහි කළේයයි දැක ඒ මේ සිත ස්කන්‍ධ වශයෙන් විඥානස්කන්‍ධය වෙයි. එයින් යුක්තවූ වේදනාව වේදනාස්කන්‍ධයයි. එයින් යුක්තවූ සංඥාව සංඥාස්කන්‍ධයයි.එක්ව හටගත් ස්පර්‍ශාදිය සංස්කාරස්කන්‍ධයයි. මේ සතර අරූප ස්කන්‍ධයෝ වෙතැයි අරූපයද ව්‍යවස්ථාපනය කොට එයට නිශ්‍රයක් සොයන්නේ හෘදයවස්තුව දැක එයට නිශ්‍රයවූ සතර මහාභුතද ඒවා උපාදාය කොට පැවති සෙසු උපාදාරූපද සලකා මේ සියලු රූපය රූපස්කන්ධයයි නිගමනය කොට මේ රූපයද පළමු අරූපයදැයි සැකෙවින් රූපාරූපය ප්‍රභේදවශයෙන් පඤචස්කන්‍ධයන් යළි සැකෙවින් මේ ස්කන්‍ධ පස දුක්‍ඛ සත්‍යයි දුක්‍ඛසත්‍යය නිශ්චය කොට එය උපදවන්නාවූ තෘෂ්ණාව සමුදය සත්‍යයයිද එහි නිරෝධ නිරෝධ සත්‍යයයයිද නිරෝධය උපදවන්නාවූ ප්‍රතිපදාව මාර්‍ග සත්‍යයයිද මෙසේ පූර්‍වභාගයෙහි චතුරාර්‍ය්‍ය සත්‍යයන් ව්‍යවස්ථාපනය කොට පිළිවෙළින් ආර්‍ය්‍ය භූමියට එළඹෙයි. එකල්හි ඔහුට මේ කමටහන විදර්‍ශනාව සඳහා නම් වෙයි. අයං ඛො යනාදීවූ අපර්ණා වාරය කියන ලද ක්‍රමයෙන්ම දතයුතුයි.