උග්ගගහපති
සයවැන්නෙහි මනාපදායකානං යන්නෙන් මනාප, සිත් අලවන බොජුන් දෙන්නවුන් අතුරින් උග්‍ර ගෘහපති වෙසාලික තෙමේ අග්‍රයයි දැක්වෙයි. හෙතෙම වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්ම කථාව අසමින් එක් උවසුවකු මනාපදෙස දෙන්නවුන් අතුරින් අගතන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම කල්ප ලක්ෂයක් දෙව්මිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි විශාලාමහනුවර සිටුකුලයක උපන්නේය. ඔහුගේ උපන්කල නම නියමිත නොවීය. මෑතකාලයෙහි ඔහුගේ ආත්මභාවයද උසස් වූයේය. සමෘද්ධ වූයේය. සැරසූ තොරණක් මෙන්ද ඔසවන ලද සිතුවම්පටක් මෙන්ද අතිශයන් බැබළීය. ගුණයෝද උසස්වූහ. හෙතෙම මේ දෙකින්ම උසස්වූ බැවින් උග්ගසෙට්ඨියයි ප්‍රසිද්ධියට පත්විය. හෙතෙම භාග්‍යවතුන් වහන්සේ පළමු දැක්මෙන්ම සෝවාන් පෙලෙහි පිහිටා පසුකාලයෙහි තුනමගපලම පසක් කළේය. හෙතෙම තමන්ගේ මහළු කල්හි රහිසිගතව හිඳ, යම්යම් දෙයක් මට ප්‍රියද මනාපද ඒ ඒ දෙයම භාග්යවතුවහන්සේට දෙන්නෙමි. ‘මනාපදෙය දෙන්නා මනාප දෙය ලබයි’ යන මෙය මා භාග්‍යවතුන්වහන්සේ සමීපයෙන්ද අසන ලදියි සිතුවේය. ඉක්බිති ඔහුට, භාග්‍යවතුන් වහන්සේ මගේ සිත දැන නිවසදොරටුවට වඩින්නේ නම් මැනවැයිද අදහස් විය.
ශාස්තෘන්වහන්සේද ඔහුගේ සිත දැන බික්සඟනවිසින් පිරිවිරන ලදසේක් නිවස දොරටුවෙහිම පහළවූ සේක. හෙතෙම භාග්‍යවතුන් වහන්සේ වැඩියහයි දැන බෙහෙවින් උත්සාහවත්වූයේ භාග්‍යවතුන්වහන්සේ සමීපයට ගොස් පසඟ පිහිටුවීමෙන් වැඳ ශාස්තෘන්වහන්සේගේ පාත්‍රය පිළිගෙන ගෙට වැඩමවා පනවනලද බුදු අසුනෙහි ශාස්තෘන්වහන්සේවද සෙසු අසුන්හි බික්සඟනද හිඳුවා බුදුපාමොක් බික්සඟන නොයෙක් අග්රරසයන්ගෙන් වළඳවා බත්කිස අවසන්හි එකත්පසෙක හිඳ මෙසේ කීවේය: ‘ස්වාමීනි, මනාප දෙය දෙන්නා මනාප දෙය ලබන්නේය යන මෙය භාග්‍යවතුන්වහන්සේගේ සම්මුඛයෙන් අසනලදී. භාග්‍යවතුන්වහන්සේගේ සම්මුඛයෙන් පිළිගන්නාලදී. ස්වාමීනි යමක් යමක් මට මනාප වේද? ඒ ඒ දෙය මවිසින් බුදුපාමොක් මහසඟනට දෙන ලද්දේමය’යි ශාස්තෘන්වහන්සේ දැනුවත් කරවා එතැන් පටන් යමක් යමක් ඔහුට මනාපවේද? ඒ ඒ දෙය බුදුපාමොක් බික්සඟනට දෙයි. ඒ සියල්ල පංචක නිපාතයෙහි උග්ග සූත්‍රයෙහි විස්තර වශයෙන් එයි. මෙසේ මේ කථා වස්තුව නිමියේයි. ශාස්තෘන්වහන්සේ පසුකාලයෙහි දෙව්රම්හි වැඩසිටින සේක් ඒ උවසුවා මනාපදෙය දෙන්නවුන් අතුරින් අගතන්හි තැබූසේක.
උග්ගතගෘහපති
සත්වැන්නෙහි සංඝුපටටාකානං යන්නෙන් බික්සඟනට උවටැන් කරන්නවුන් අතුරින් හත්‍ථිගාමවාසී උග්ගතගෘහපති තෙමේ අග්‍රයයි දැක්වෙයි. මෙතෙමේ පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ පසු කලෙක ශාස්තෘන්වහන්සේගේ ධර්මදේශනාව අසා එක් උවසුවකු සඟනට උවටැන් කරන්නවුන් අතුරින් අගතනතුරෙහි තබන ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම කල්ප ලක්ෂයක් දෙව් මිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධොත්පාදයෙහි හත්ථි ගමෙහි සිටුකුලයෙහි උපන්නේය. ඔහුට උග්ගතකුමාරයයි නම් කළාහුය.
හෙතෙම පසුකලෙක ගිහිගෙහි පිහිටියේ පියාගේ ඇවෑමෙන් සිටු තනතුරට පත්විය. එසමයෙහි ශාස්තෘන්වහන්සේ බික්සඟන විසින් පිරිවරණලද්දාහු චාරිකාවෙහි හැසිරෙමින් හත්‍ථිගමට පැමිණ නාගවන උද්‍යානයෙහි වාසය කරනසේක. එකල්හි මේ උග්ගත සිටුතෙමේ සත්දිනක් මත්පැනින් මත්වූයේ නාටක (ස්ත්‍රීන්) විසින් පිරිවරන ලද්දේ නාගවන උයනට ගොස් හැසිරෙන්නේ භාග්‍යවතුන්වහන්සේ දැක බලවත්සේ ලජ්ජාබියට එළඹුණේය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ වෙතට ළං වත් ළංවත්ම ඔහුගේ සියලු සුරාමදය සිඳී ගියේය. හෙතෙම ශාස්තෘන්වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. ඉක්බිති ඔහුට ශාස්තෘන්වහන්සේ දම්දෙසූ සේක. දෙසුම අවසන්හි තුන්මගපල අවබෝධ කළේය. එතැන් පටන් ‘නුඹලා කැමැති ලෙස යවු’යයි නාටක (ස්ත්‍රීන්)යවා දානයෙහි සිත් අලවා බික්සඟනට දන්ම දෙයි. දේවතාවෝ රැකාලය තුළ පැමිණ සිටාණන්ට අසුවල් භික්ෂුව ත්‍රිවිද්‍යාප්‍රාප්තය: අසූවල් භික්ෂුව ෂඩභිඥාප්‍රාප්තය: අසුවලා සිල්වත්ය: අසුවලා දුසිල්වත්ය’යි සැළකරති. හෙතෙම ඔවුන්ගේ වචනය අසා ගුණවතුන් ඇතිසැටියෙන් දනියි. දියයුතුදේ සමසිතින්ම දෙයි. ශාස්තෘන් වහන්සේ සමීපයෙහි හිඳිගෙනද ඒ ගුණයම කියයි. ශාස්තෘන්වහන්සේ මෑතභාගයෙහි දෙව්රම්හි වැඩහිද ඒ ගැහැවියා සඟනට උවටැන් කරන්නවුන් අතුරින් අගතැන්හි තැබූසේක.