උග්ගතගෘහපති
සත්වැන්නෙහි සංඝුපටටාකානං යන්නෙන් බික්සඟනට උවටැන් කරන්නවුන් අතුරින් හත්‍ථිගාමවාසී උග්ගතගෘහපති තෙමේ අග්‍රයයි දැක්වෙයි. මෙතෙමේ පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ පසු කලෙක ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනාව අසා එක් උවසුවකු සඟනට උවටැන් කරන්නවුන් අතුරින් අගතනතුරෙහි තබන ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම කල්ප ලක්‍ෂයක් දෙව් මිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධොත්පාදයෙහි හත්‍ථි ගමෙහි සිටුකුලයෙහි උපන්නේය. ඔහුට උග්ගතකුමාරයයි නම් කළාහුය.
හෙතෙම පසුකලෙක ගිහිගෙහි පිහිටියේ පියාගේ ඇවෑමෙන් සිටු තනතුරට පත්විය. එසමයෙහි ශාස්තෘන්වහන්සේ බික්සඟන විසින් පිරිවරණලද්දාහු චාරිකාවෙහි හැසිරෙමින් හත්‍ථිගමට පැමිණ නාගවන උද්‍යානයෙහි වාසය කරනසේක. එකල්හි මේ උග්ගත සිටුතෙමේ සත්දිනක් මත්පැනින් මත්වූයේ නාටක (ස්ත්‍රීන්) විසින් පිරිවරන ලද්දේ නාගවන උයනට ගොස් හැසිරෙන්නේ භාග්‍යවතුන්වහන්සේ දැක බලවත්සේ ලජ්ජාබියට එළඹුණේය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ වෙතට ළං වත් ළංවත්ම ඔහුගේ සියලු සුරාමදය සිඳී ගියේය. හෙතෙම ශාස්තෘන්වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. ඉක්බිති ඔහුට ශාස්තෘන්වහන්සේ දම්දෙසූ සේක. දෙසුම අවසන්හි තුන්මගපල අවබෝධ කළේය. එතැන් පටන් ‘නුඹලා කැමැති ලෙස යවු’යයි නාටක (ස්ත්‍රීන්)යවා දානයෙහි සිත් අලවා බික්සඟනට දන්ම දෙයි. දේවතාවෝ රැකාලය තුළ පැමිණ සිටාණන්ට අසුවල් භික්‍ෂුව ත්‍රිවිද්‍යාප්‍රාප්තය: අසූවල් භික්‍ෂුව ෂඩභිඥාප්‍රාප්තය: අසුවලා සිල්වත්ය: අසුවලා දුසිල්වත්ය’යි සැළකරති. හෙතෙම ඔවුන්ගේ වචනය අසා ගුණවතුන් ඇතිසැටියෙන් දනියි. දියයුතුදේ සමසිතින්ම දෙයි. ශාස්තෘන් වහන්සේ සමීපයෙහි හිඳිගෙනද ඒ ගුණයම කියයි. ශාස්තෘන්වහන්සේ මෑතභාගයෙහි දෙව්රම්හි වැඩහිද ඒ ගැහැවියා සඟනට උවටැන් කරන්නවුන් අතුරින් අගතැන්හි තැබූසේක.
සුරම්බට්ඨ
අටවැන්නෙහි අවෙච්චප්පසන්නානං යන්නෙන් ඉවත්ව නොයන ස්වභාවයෙන් නොසැලෙන පැහැදීමෙන් යුක්තවූවන් අතුරින් සූර අම්බට්ඨ තෙමේ අග්‍රයයි දැක්වෙයි. මෙතෙම වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ ශාස්තෘන්වහන්ගේ ධර්‍මකථාව අසා එක් උවසුවෙකු ඉවත්නොවන පැහැදීම් ඇත්තවුන් අතුරින් අගතනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතීය. හෙතෙම කල්ප ලක්‍ෂයක් දෙව්මිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි සැවතෙහි සිටු කුලයෙහි උපන්නේය. ඔහුට සූරම්බටඨයයි නම් කළාහුය.
හෙතෙම පසුකාලයෙහි ගිහිවාසයෙහි පිහිටියේ අන්තොටුවන්ට උවසුවෙක්ව හැසිරෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උදෑසන කල්හි ලොව බලා වදාරණසේක් ඔහුට සෝවාන් මගට හේතු දැක පිඬුහැසිරෙන වේලෙහි නිවස දොරටුවට වැඩිසේක. මෙතෙම භාග්‍යවතුන්වහන්සේ දැක මෙසේ සිතීය: ශ්‍රමණ භවත් ගෞතමයෝ උසස් කුලයෙහි උපන්නෝද ලොව බෙහෙවින් පළට වූවෝද වෙත්. එබැවින් ඔවුන්ගේ සමීපයට නොයාම නොසුදුසුය. හෙතෙම ශාස්තෘන්වහන්සේ සමීපයට ගොස් පාවැඳ නිවසට පිවිසුවා ඉතාවටිනා පළඟක හිඳුවා භික්‍ෂාව දී බත්කිස අවසන්හි එකත්පසෙක හුන්නේය. ශාස්තෘන්වහන්සේ ඔහුට චරිත වශයෙන් දහම් දෙසුසේක. දෙසුම අවසන්හි (හෙතෙම) සෝවාන් පෙලෙහි පිහිටියේය. ශාස්තෘන්වහන්සේද ඔහු දමනය කොට විහාරයටම වැඩිසේක.
ඉක්බිති මාරයා මෙසේ සිතුවේය: මේ සූරම්බට්ඨයා නම් අප සතුටුවෙකි. භාග්‍යවතුන්වහන්සේ වනාහි අද (ඔහුගේ) ගෙට ගියසේක. කිමෙක්ද භාග්‍යවතුන්ගේ ධර්‍මකථාව අසා මග පල පහළ කරගැනීමක් කළේද? මගේ විෂයයෙන් මොහු ඉක්මෙන බව හෝ නොයික්මෙන බව හෝ දනිමි.’ (මෙසේ සිතා) තමන් කැමති ආකාරයෙන් භාග්‍යවතුන්වහන්සේට සමාන වූ රූපයක් මවා සිවුරු ගැනීම් පාත්‍රගැනීම්ද බුද්ධාකල්පයෙන්ම කොට දෙතිස් ලකුණු දරන්නෙක්ව සූරම්බට්ඨගේ ගෙදොරෙහි සිටියේය. සූරම්බට්ඨ තෙමේද යළි දශබලයන්වහන්සේ වැඩිසේකැයි අසා බුදුවරුන්ගේ නම් අනිර්ය්‍යානික ගමනක් නම් නැත. කවරනම් කරුණකින් වැඩිසේක්දැයි තථාගතයන් වහන්සේයයි හැඟීමෙන් වේගයෙන් ඔහු සමීපයට ගොස් වැඳ එකත්පසෙක සිටියේ ‘ස්වාමීනි, නුඹවහන්සේ දැන්ම මේ ගෙහි බත්කිස කොට වැඩිසේක. කවරකරුණක් නිසා යළි ආවාහුදැයි ඇසුවේය. අම්බට්ඨය, දහම් දෙසන මාවිසින් සොයා නොබලා කියනලද කරුණක් ඇත. මාවිසින් වනාහි සියලුම පඤ්චස්කන්‍ධයෝ අනිත්‍යයහ. දුඃඛයහ අනාත්මයහයි කියනලද්දාහුය. මේ සියල්ලෝම එසේ නොවෙත්, වෙනස් නොවන්නාවුත් හැමදා පවත්නාවුත් ශාශ්වතිකවූත් ඇතැම් ස්කන්‍ධයෝත් ඇත්තාහයි කීවේය.