උපාසක පාළි වර්‍ණනාව
තපස්ස භල්ලික
උපාසක පාළියෙහි පළමුවැන්නෙහි පඨමං සරණං ගච්ඡන්තානං යන්නෙන් සියල්ලන්ට පළමුව සරණයන්නවුන් අතුරින් තපස්ස ද භල්ලික ද යන මේ වෙළෙඳු දෙදෙන අග්‍රයහයි දැක්වෙයි. මොවුහු වනාහි පියුමුතුරා බුදුන් කල හංසවතියෙහි කුලගෙයක පිළිසිඳ ගෙන මෑතකාලයෙහි භාග්‍යවතුන්වහන්සේගේ ධර්‍මදේශනය අසන්නාහු උපාසකවරුන් දෙදෙනෙකු පළමුව සරණයන්නවුන් අතුරින් අගතන්හි තබන්නාවූ භාග්‍යවතුන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාහුය. ඔවුහු කල්පලක්‍ෂයක් දෙව්මිනිසුන් අතුරෙහි සැරිසරා අපගේ බෝසතුන් සර්‍වඥතාඥානයට පත්වීමට පෙරාතුවම අසිතඤ්ජනනගරයෙහි කෙළෙමියකුගේ ගෙහි උපන්නාහුය. දෙටු සොහොයුරා තපස්ස නම් වූයේය. කනිටු සොහොයුරා භල්ලික නම් විය.
ඔවුහු මෑතකාලයෙහි ගිහි ගෙහි වසන්නාහු කලින් කලට පන්සියයක් ගැල් යොදවා වෙළඳාම් කරමින් හැසිරෙති. එකල්හි අපගේ බෝසත්තෙමේ සර්‍වඥතාඥානයට පැමිණ සත්සතියක් බෝමැඩ වැස අටවැනි සතියෙහි රාජයතන මූලයෙහි හුන්නේය. එකල්හි ඒ වෙළෙන්දෝ පන්සියයක් පමණවූ ගැල්වලින් එතැනට එළැඹියාහු වෙත්. ඔවුන්ගේ අනතුරු අත්බවෙහි මව ඒ පෙදෙසෙහි දේවතාවාවී උපන්නාය. ඕතොමෝ (මෙසේ සිතුවාය): ‘දැන් බුදුරජාණන්වහන්සේට ආහාරයක් ලැබීමට වටීයි. මින්මතු නිරාහාරයෙන් යැපීමට නොහැකිය. මේ මගේ පුත්තු දෙදෙනාද මෙතැනින් යති. මොවුන්ලවා අද බුදුරදුන්ට පිණ්ඩපාතයක් දෙවීමට වටීයි’ මෙසේ සිතා පන්සියයක් ගැල්වල යෙදූ ගොනුන්ගේ ගමන් වැළැක්ම කළාය. ඔවුහු මේ නම් කුමක්දැයි නොයෙක් ආකාර නිමිති බලත් ඉක්බිති ඔවුන් වෙහෙසෙන බව දැන එක් පුරුෂයකුගේ සිරුරෙහි පිවිස ‘කුමක් හෙයින් වෙහෙසෙවුද? නුඹලාට යක්‍ෂාවේශයක් හෝ භූතාවෙශයක් හෝ නාගාවෙශයක් හෝ නැත. මම වනාහි නුඹලාගේ ඉකුත් අත්බවෙහි මවය. මෙතැන්හි භූම්‍යස්ථාදේවතාවාවී උපන්නා වෙමි. මේ භාග්‍යවතුන්වහන්සේ රාජායතන මූලයෙහි වැඩහුන්සේක. උන්වහන්සේට පළමු පිණ්ඩපාතය දෙවුයි කීවාය.
ඔවුහු ඇයගේ කථාව අසා සතුටු සිත් ඇත්තෝව අත්සුණුද මීපිඬුද රන්තලියකින් ගෙන ශාස්තෘන්වහන්සේ සමීපයට ගොස් ‘ස්වාමිනි, මේ භොජනය පිළිගනුමැනවැයි කීවාහුය. ශාස්තෘන්වහන්සේ අතීත බුදුවරුන්ගේ පුරුද්ද බැලූ සේක. ඉක්බිති උන්වහන්සේට සතර (වරම්) මහරජවරු සෙල්මුවා පාත්‍රයක් පිළිගැන්වූහ. ශාසතෘන්වහන්සේ ඔවුන්ට මහත්ඵල වේවායි පාත්‍ර සතරම එකම පාත්‍රයක් වේවායි අදිටන් කළසේක. එකෙණෙහි ඒ වෙළෙන්දෝ තථාගතයන්වහන්සේගේ පාත්‍රයෙහි අත්සුණුද මීපිඬුද පිහිටුවා වැළඳූ කල්හි දිය පිළිගන්වා බත්කිස අවසන්හි ශාස්තෘන්වහන්සේට වැඳ එකත්පසෙක හුන්නාහුය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ ඔවුන්ට දහම් දෙසූසේක. දෙසුම අවසන්හි දෙදෙනාම දෙවවාචික සරණයෙහි පිහිටා ශාස්තෘන්වහන්සේට වැඳ තමන්ගේ නුවරට යනු කැමැත්තාහු ‘ස්වාමීනි, අපට ආවතේව සඳහා පිදිය යුතු දෙයක් දෙනු මැනවැ’යි කීවාහුය. ශාස්තෘන්වහන්සේ දකුණු අතින් හිස පිරිමැඳ දෙදෙනාටම කේසධාතුමිට අටක් දුන්සේක. ඒ දෙදෙනාම ඒ ධාතු රන්සුමුගක තබා තමන්ගේ නුවරට පමුණුවා අසිතඤජන නුවර දොරටුවෙහි ජීව කේශධාතුන්ගෙන් චෛත්‍යයක් පිහිටෙව්වාහුය. පොහෝදිනයක්, පාසා චෛත්‍යයෙන් නිල් රැස් විහිදෙයි. මෙසේ මේ කථාවස්තුව නිමියේයි. ශාස්තෘන්වහන්සේ මෑතකාලයෙහි ජේතවනයෙහි වැඩහිඳ පිළිවෙළින් උපාසකවරුන් තනතුරුවල තබනසේක් මේ දෙදෙනා පළමුව සරණ යන්නවුන් අතුරින් අගතනතුරෙහි තැබූසේක.
අනාථපිණ්ඩික
දෙවැන්නෙහි දායකානං යන්නෙන් දීමෙහි ඇලුනවුන් අතුරින් සුදත්තගෘහපති අනාථපිණ්ඩික තෙමේ අග්‍රයයි දැක්වෙයි. හෙතෙම වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ ශාස්තෘන්වහන්සේ ධර්‍මකථාව අසමින් එක් උපාසකයකු දෙන්නවුන් අතුරින් අගතනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම කල්ප ලක්‍ෂයක් දෙවිමිනිසුන් අතර සැරිසරා මේ බුද්ධොත්පාදයෙහි සැවතෙහි සුමන සිටුගේ ගෙහි උපන්නේය. ඔහුට සුදත්තයයි නම් කළාහුය.
හෙතෙම පසුකල්හි ගෘහවාසයෙහි පිහිටියේ දන්දෙන දානපතියෙක්වී ඒ ගුණයෙන්ම පතළාවූ නම් ඇත්තේ අනාථපිණ්ඩික නම් වූයේය. හෙතෙම ගැල් පන්සියයකින් බඩු රැගෙන රජගහනුවර තමන්ගේ හිතවත් යහළු සිටු කෙනකුගේ ගෙදර ගොස් එහිදී භාග්‍යවත්වූ බුදුරජාණන්වහන්සේ උපන්බව අසා බෙහෙවින් උදෑසන කාලයෙහි දේවතානුභාවයෙන් විවරවූ දොරටුවෙන් ශාස්තෘන්වහන්සේ වෙත එළඹ දහම් අසා සෝවාන් පෙලෙහි පිහිටා දෙවෙනි දිනයෙහි බුදුපාමොක් සඟනට මහදන්දී සැවතට පැමිණීම සඳහා ශාස්තෘන්වහන්සේගෙන් පිළිණගෙන අතරමග පන්සාළිස් යොදුන් මගෙහි ලක්‍ෂය ලක්‍ෂය බැගින් දී යොදුනෙන් යොදුනවූ විහාරයන් කරවා ජේතවනය කෝටිගණන් ඇතිරීමෙන් අටළොස් කෙළකින් මිලදී ගෙන අටළොස් කෙළකින් විහාරය කරවා නිමවූ කල්හි සිවුපිරිසට පෙරබතෙහි හා පසුබතෙහි කැමති පරිදි දන් දෙමින් අටළොස් කෙළකින් විහාර පූජාව නිම කරවූයේය. විහාරපූජාව නවමසකින් නිමාවට ගියේය. පස් මසකිනැයි ඇතැම්හු කියත්. තෙමසෙහි වනාහි සියලු ආචාර්‍ය්‍යවරුන්ගේ විවාදයක් නැත.
මෙසේ සිවුපණස් කෙළක් ධනය විසඳ නිබඳවම ගෙහි මෙබඳු දන් පැවැත්වීය. දිනපතා සලාක බත් පන්සියයක් වෙයි. පක්‍ෂයකට අයත්වන බත් පන්සියයකි. සලාක කැඳදීම් පන්සියයකි. පක්‍ෂයකට අයත්වන කැඳදීම් පන්සියයකි. නිතිබත් පන්සියයකි. ආගන්තුක බත් පන්සියයකි. ගමිකබත් පන්සියයකි. ගිලානුපස්ථායක බත් පන්සියයකි. පන්සියයක් අසුන් නිවසෙහි නිබඳ පනවන ලද්දේම වෙයි. ඉක්බිති පසුකාලයෙහි භාග්‍යවතුන්වහන්සේ ජේතවනයෙහි වැඩවස සේක් උවසුවන් පිළිවෙළින් තනතුරුවල තබමින් ඔහු දායකයන් අතුරින් අගතැන්හි තැබූසේක.
චිත්තගහපති
තෙවැනනෙහි ධම්මකථිකානං යන්නෙන් ධර්‍මකථික උපාසකයන් අතුරින් චිත්තගෘහපති තෙමේ අග්‍රයයි දැක්වෙයි. හෙතෙම වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ පසුකලෙක දහම් අසමින් එක් උවසුවකු ධර්‍මකථිකයන් අතුරින් අගතන්හි තබන්නාවූ භාග්‍යවතුන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම කල්ප ලක්‍ෂයක් දෙව්මිනිසුන් අතර සැරිසරා කාශ්‍යප බුදුන් කල මුවවැද්දකුගේ නිවසෙහි උපන්නේ පසුකලෙක වනයෙහි වැඩකිරීමට හැකි කල්හි එක්දිනක් වැසිවසින විට මුවන් මැරීම සඳහා අවි රැගෙන වනයට ගොස් මුවන් සොයාබලන්නේ නොක (ඉබේ සැදුණු) පවර්‍ත ගුහාවක හිසපටන් පාංශුකූලය පොරවා ගල්තලයක හුන්නාවූ එක් භික්‍ෂුවක දැක එක් ආර්‍ය්‍යයෙක් මහණදම් කරමින් හුන්නේ වනැයි හැඟීම් උපදවා වේගයෙන් ගෙර ගොස් එක් උදුනක ඊයේ ගෙනා මස්ද එක් උදුනක බත්ද පිසවා පිඬු හැසිරෙන භික්ෂූන් දැක උන්වහන්සේලාගේ පාත්‍රය ගෙන පනවනලද අසුන්හි හිඳුවා භික්‍ෂාව පිළිගන්වා ආර්‍ය්‍යයන් වළඳවවුයයි අනිකකුට අණවා ඒ බත බඳුනක බහා පත්වලින් මුව බැද බඳුන රැගෙන යන්නේ අතරමඟ නොයෙක් ආකාර මල් නෙලා පාත්‍ර ගොටුවෙන් ගෙන තෙරුන් හුන්තැනට ගොස් බඳුන බහා එක්තැනක තබා ‘ස්වාමීනි මට සංග්‍රහ කරනු මැනවැ’යි කියා තෙරුන්ගේ පාත්‍රය රැගෙන බත් පුරවා තෙරුන්ගේ අතෙහි පිහිටුවා ඒ මුසුවූ මල්වලින් තෙරුන් පුදා එකත්පසෙක සිටියේ යම්සේ මේ රසවත් පිණ්ඩපාතය සමඟ මල්පූජාව සිත සතුටු කරවූයේද එසේ මා උපනුපන් තන්හි පඬුරු දහස් ගණන්ද පැමිණේවා! පස් පැහැති මල් වැසිද වසීවා’යි පැවසීය.