මහානාමශාක්‍ය
පස්වැන්නෙහි පණීතදායකානං යන්නෙන් ප්‍රණීතරස දෙන්නවුන් අතුරින් මහානාම ශාක්‍ය තෙමේ අග්‍රයයි දැක්වෙයි. හෙතෙම වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසන්නේ එක් උවසුවකු ප්‍රණීතරසදායයන් අතුරින් අගතන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතීය. හෙතෙම කල්පලක්‍ෂයක් දෙව්මිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධොත්පාදයෙහි කපිපුරයෙහි ශාක්‍යරජකුලයෙහි ඉපිද වියපත් වූයේ භාග්‍යවතුන්වහන්සේගේ පළමු දැකීමෙන් සෝවාන් පෙලෙහි පිහිටියේය.
ඉක්බිති ඒ කලෙක ශාස්තෘන්වහන්සේ වේරඤජාවෙහි වස් වැස පිළිවෙළින් කපිලපුරයට ගොස් නිග්‍රොධාරාමයෙහිවසන සේක. මහානාමතෙමේ ශාස්තෘන්වහන්සේ වැඩිසේකැයි අසා උන්වහන්සේ වෙත ගොස් වැඳ එකත්පසෙක හුන්නේ ශාස්තෘන්වහන්සේට මෙසේ කීවේය: ‘භාග්‍යවතුන් වහන්ස, භික්‍ෂුෂංඝයා වේරඤජාවෙහි පිඬුහැසිරීමෙන් වෙහෙසෙතියි මවිසින් අසනලදී. සිවුමසක් බික්සඟන පිළිදැඟුම් කිරීමෙහි පිළිණ දෙනු මැනව. මම භික්‍ෂුසංඝයාගේ ශරීරයෙහි ඔජස් පිවිසුවමි.’ ශාස්තෘන්වහන්සේ ඉවසාවදාළ සේක. හාස්තෘන්වහන්සේගේ පිළිගැනීම දැන දෙවැනි දිනයෙහි පටන් බුදුපාමොක් බික්සඟන පිඬුරසබොජුන් චතුමධුර ආදියෙන් පිළිදැඟුම්කොට යළි සිවුමසකට පිළිණ ගෙන අටමසක් සපුරා යළිසිවුමසකට පිළිණ ගෙන මුළු අවුරුද්ද පිළිදැඟුම් කළේය. ශාස්තෘන්වහන්සේ එතැන්සිට පිළිණ නොදුන්සේක. මහානාම තෙමේ එතැන්පටන් වරින්වර සැපැමිණි බික්සඟනට ඒ අයුරින්ම සත්කාර කරයි. ඔහුගේ ඒ ගුණය සියලු දඹදිව පළට විය. ශාස්තෘන්වහන්සේ මෑතකාලයෙහි දෙව්රම වැඩහිඳ මහානාම ශාක්‍යයා ප්‍රණීතදායකයන් අතුරින් අගතැන්හි තැබූසේක.
උග්ගගහපති
සයවැන්නෙහි මනාපදායකානං යන්නෙන් මනාප, සිත් අලවන බොජුන් දෙන්නවුන් අතුරින් උග්‍ර ගෘහපති වෙසාලික තෙමේ අග්‍රයයි දැක්වෙයි. හෙතෙම වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍ම කථාව අසමින් එක් උවසුවකු මනාපදෙස දෙන්නවුන් අතුරින් අගතන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම කල්ප ලක්‍ෂයක් දෙව්මිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි විශාලාමහනුවර සිටුකුලයක උපන්නේය. ඔහුගේ උපන්කල නම නියමිත නොවීය. මෑතකාලයෙහි ඔහුගේ ආත්මභාවයද උසස් වූයේය. සමෘද්ධ වූයේය. සැරසූ තොරණක් මෙන්ද ඔසවන ලද සිතුවම්පටක් මෙන්ද අතිශයන් බැබළීය. ගුණයෝද උසස්වූහ. හෙතෙම මේ දෙකින්ම උසස්වූ බැවින් උග්ගසෙට්ඨියයි ප්‍රසිද්ධියට පත්විය. හෙතෙම භාග්‍යවතුන් වහන්සේ පළමු දැක්මෙන්ම සෝවාන් පෙලෙහි පිහිටා පසුකාලයෙහි තුනමගපලම පසක් කළේය. හෙතෙම තමන්ගේ මහළු කල්හි රහිසිගතව හිඳ, යම්යම් දෙයක් මට ප්‍රියද මනාපද ඒ ඒ දෙයම භාග්‍යවතුවහන්සේට දෙන්නෙමි. ‘මනාපදෙය දෙන්නා මනාප දෙය ලබයි’ යන මෙය මා භාග්‍යවතුන්වහන්සේ සමීපයෙන්ද අසන ලදියි සිතුවේය. ඉක්බිති ඔහුට, භාග්‍යවතුන් වහන්සේ මගේ සිත දැන නිවසදොරටුවට වඩින්නේ නම් මැනවැයිද අදහස් විය.