හත්‍ථකාලවක
සිවුවැන්නෙහි චතුහි සංගහවත්‍ථුහි යන්නෙන් සිවුවැදරුම් සංග්‍රහවස්තූන්ගෙන් පිරිසට සංග්‍රහකරන්නවුන් අතුරින් හත්‍ථක ආලවක තෙමේ අග්‍රයයි දැක්වෙයි. මෙතෙම වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නේ මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසන්නේ සතරසංග්‍රහවස්තුවෙන් යුකුත් වූ එක් උපාසකයෙකු ශාස්තෘන්වහන්සේ විසින් තනතුරෙහි තබනු දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම කල්ප ලක්‍ෂයක් දෙව්මිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි ආළවිරට ආළවිනගරයෙහි ආළවක රජුගේ නිවසෙහි උපන්නේ හෙට බත්සැළිය සමඟ ආළවක (යක්‍ෂ)යාට යැවිය යුත්තේ විය.
මේ එහි පිළිවෙළ කථාවයි. එක් දිනක් ආළවක රජතෙමේ මුව දඩයම සඳහා වනයට ගොස් එක් මුවකු ළුහුබැඳ මරා දුනු කෙළවරෙහි එල්ලා ආපසු හැරී එන්නේ සුළඟින් සහ අවුවෙන් වෙහෙසුන බැවින් ඝනසෙවන ඇති එක් නුගරුක්මුලකට පිවිස හුන්නේය. ඉක්බිති මොහොතක් විඩාව සංසිඳුවා නිකමෙන ඔහුට ගසෙහි අධිගෘහීත දේවතාවා සිටුව, සිටුව, ඔබ මගේ කෑමක් වන්නෙහි (කියා) අත අල්වා ගත්තාය. හෙතෙම දැඩිව ගන්නාලද බැවින් අන් උපායක් නොදක්නේ’ දිනපතා එක්පුරුෂයෙකු සමඟ බත්සැළියක් ඔබට එවන්නෙමි’යි පවසා නුවරට ගියේය. එතැන්පටන් බන්‍ධනාගාරයෙන් එක්මිනිසෙකු සමඟ සැළිබතක් යැවීය. මේ අයුරින් බන්‍ධනාගාරයෙහි මිනිසුන් අවසන්වූ කල්හි මහළු මිනිසුන් ගනුලබනවිට රට කැළඹීමක් වේයයි ඔවුන් නොගෙන කුඩා ළමුන් ගැනීමට ඇරඹීය. එතැන්පටන් නුවරෙහි කුඩා ළමෝද ගැබිනියෝද අන්රටවලට යති.
එසමයෙහි ශාස්තෘන්වහන්සේ උදෑසන කාලයෙහි ලොව බලා වදාරන්නාහු ආළවක කුමරුට තුන්මගපලයකට හේතුසම්පත් දැක මේ කුමරු කල්පලක්‍ෂයක් පැතූ පැතුම් ඇත්තේ දෙව්ලොවින් සැව ආළවක රජුගේ ගෙහි උපන්නේය. වෙනකෙකු නොලබන්නාහු හෙට කුමරු සැළිබතසමඟ ගෙන යන්නාහුයයි සිතා සවස්කාලයෙහි නොදන්නා වෙසකින් ආළවක යකාගේ විමන්දොරට ගොස් ඔහුගේ දොරටුපල්වූ ගද්‍රභ යක්‍ෂයාගෙන් විමනට පිවිසීම සඳහා (අවසර) ඉල්වූසේක. හෙතෙම කීයේය: ‘භාග්‍යවතුන්වහන්ස, නුඹවහන්සේ පිවිසෙනු මැනව. මට වනාහි ආළවකට නොදැන්වීම නම් නොසුදුසුය.’ (මෙසේ කියා) හිමවත යක්ෂ සමාගමට ගිය ආළවකයා සමීපයට ගියේය. ශාස්තෘන්වහන්සේද ඒ විමනට පිවිස ආළවකයාගේ හිඳින පළඟෙහි වැඩසිටි සේක.
එකල්හි සාතාගිරහෙමවත දෙදෙනා ආළවකගේ විමනමතින් යක්‍ෂසමාගමයට යන්නාහු තම ගමන සිදු නොවනවිට කවර කරුණක්දැයි සිහිකරමින් ආළවකගේ විමනෙහි හිඳින ශාස්තෘන්වහන්සේ දැක උන්වහන්සේ සමීපයට ගොස් වැඳ යක්‍ෂසමාගමට ගොස් ආළවකට සතුට පළකළහ. ‘ඇවැත්නි ආළවකය, ඔබට ලාභයකි. යම් බඳුවූ ඔබේ විමනෙහි දෙවියන් සහිත ලොව අග්‍රපුද්ගලයා, හුන්සේක්ද? ගොස් ශාස්තෘන්වහන්සේ සමීපයෙහි ධර්‍මය අසව’යි කීය. හෙතෙම ඔවුන්ගේ කථාව අසා මොවුහු එක් මුඩුමහණෙකු මගේ හිඳිනා පළගෙහි හුන්බව කියති’යි සිතුවේය. එයින් කෝපයෙන් මැඬුනේවී අද මේ මහණ සමඟ මගේ සටනක් වන්නේයයි (සිතා) එහි මගේ යහළුවෝ නම් වෙතියි දකුණු පය ඔසවා සැට යොදුනක් පමණවූ පර්‍වතකටයක් ඇක්මීය. එය බිඳී දෙකට විය. මෙතැන්පටන් ආළවකයුද්ධය විස්තර කළයුතුය: ආලවකයා වනාහි සියලු රැය තථාගතයන්වහන්සේ සමඟ නොයෙක් ආකාරයෙන් යුද්ධකරන්නේද කිසිවක් කිරීමට නොහැකි වන්නේ තථාගතයන්වහන්සේ විසඳූසේක. දෙසුම අවසන්හි (ආළවක) සෝවාන් පෙලෙහි පිහිටියේය. විස්තර කොට කියනු කැමැත්තහු විසින් ආළවකසූත්‍රවර්‍ණනාව බැලිය යුතය.
දෙවැනි දිනයෙහි අරුණු නැඟුන කල්හි සැළිබත ගෙනෙන වේලාවෙහි ගතයුතු දරුවෙකු නොදැක රජුට සැළකළාහුය. දරුවනි, ගැනීමට නොසුදුසු තැන ඇත්දැයි රජතෙමේ ඇසුවේය. එසේය, දේවයිනි, අද රජකුලයෙහි පුතෙක් උපන්නේය’යි ඔවුහු කීහ. ‘යවු දරුවනි, අපි ජීවත් වන්නමෝ නම් දරුවන් ලබන්නෙමු. සැළිබත සමඟ ඔහු යවවු’යි රජතෙමේ කීවේය. ඔවුහු දේවිය හඬද්දී දරුවා රැගෙන සැළිබත සමඟ ආළවකගේ විමන් දොරට ගොස් ‘පින්වත ගන්න, ඔබේ කොටස පිළිගන්නැ’යි කීවාහුය. ආළවක තෙමේ ඔවුන්ගේ කථාව අසා ආර්‍ය්‍යශ්‍රාවක බැවින් ලැජ්ජාවන්නේ මුවයටිකුරු කොට හුන්නේය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ ඔහුට ‘ආළවක, දැන් ඔබට ලජ්ජාවියයුත්තක් නැත. දරුවා රැගෙන මාඅතෙහි තබවයි වදාළ සේක. රාජපුරුෂයෝ ආළවක කුමරු ආළවකගේ අතෙහි තැබූහ. ආළවකතෙමේ ඒ දරුවා රැගෙන භාග්‍යවතුන්හන්සේගේ අතෙහි තැබූවේය. භාග්‍යවතුන්වහන්සේ පිළිගෙන යළි ආළවකගේ අතෙහි තැබූසේක. ආලවකතෙමේ ඔහු රැගෙන රාජපුරුෂයන්ගේ අතෙහි තැබුවේය. මෙසේ ඔහුට අතින්අතට ගිය බැවින් හත්‍ථක ආලවකයැයි නම් කළාහුය.