නන්ද තෙරණිය
සවැන්නෙහි ක්ධායීනං යදිදං නන්ද යන්නෙන් ධ්යානයෙහි ඇලුම්කළ භික්ෂුණීන් අතුරින් නන්ද තෙරණිය අග්රයයි දැක්වෙයි. ඕතොමෝ වනාහි පියුමුතුරා බුදුන් කල හංසවතියෙහි කුලගෙයක පිළිසිඳ ගෙන පසු කලෙක ශාස්තෘන්වහන්සේගේ ධර්මය අසන්නී එක් භික්ෂුණියක ධ්යානයෙහි ඇළුම්කරන භික්ෂුණීන් අතුරෙන් අගතන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඉක්බිති ඕතොමෝ කල්ප ලක්ෂයක් දෙවිමිනිසුන් අතර සැරිසරා අපගේ ශාස්තෘන්වහන්සේ පහළවීම්ට පෙරාතුවම මහාප්රජාපතී ගෞතමියගේ කුස පිළිසිඳ ගත්තාය. ඇයට නන්ද’යි නම් කළාහුය. රූපනන්දයිද කියනුලැබේ. ඕතොමෝ පසු කලක උතුම් රූපස්වභායෙන් ජනපදකල්යාණි නම් වූවාය.
ඕතොමෝ අපගේ ශාස්තෘන්වහන්සේ සර්වඥතා ඥානයට පත්ව ක්රමයෙන් කිඹුල්වතට අවුත් නන්ද රාහුලද පැවිදි කරවා ආපසු වැඩිකල්හි සුදොවුන් මහරජු පිරිනිවන්පෑ කල්හි මහාප්රජාපති ගොතමියද රහල්මවද නික්ම ශාස්තෘන්වන්සේ හමුවෙහි පැවිදිවූහයි දැන මොවුන් පැවිදිවූ කල පටන් මෙහි මට කුමන වැඩක්දැයි මහාප්රජාපතිය සමීපයට ගොස් පැවිදි වූවාය. පැවිදිවූ දිනයෙහි සිට ශාස්තෘන්වහන්සේ රූපයට ගරහන සේකැයි ශාස්තෘන්වහන්සේගේ උපස්ථානයට නොයයි. අවවාදවාරය එළඹි කල්හි අනිකක යවා අවවාද ගෙන්වා ගනියි. ශාස්තෘන්වහන්සේ ඇය රූපමදයෙන් මත්වූබව දැන තමන්ගේ අවවාදය තමන් අවුත් ගනිත්වා! භික්ෂුණීන් විසින් අනිකක නොයැවිය යුත්තීයයි වදාළසේක. ඉක්බිති රූපනන්දා තොමෝ අන් මගක් නොදක්නී නොකැමැත්තෙන් අවවාදයට ගියාය.
ශාස්තෘන්වහන්සේ ඇයගේ චරිත වශයෙන් සෘද්ධියෙන් එක් ස්ත්රීරූපයක් මවා තල්වටක් ගෙන පවන් සලන්නියක මෙන් කළසේක. රූපනන්දා ඇය දැක ‘මම නිකරුණෙහිම පමාවී නොඑමි. මෙබඳුවූ ස්ත්රීහුත් ශාස්තෘත් සමීපයෙහි නිසැකව හැසිරෙති. මගේ රූපය මොවුන්ගේ රූපයෙන් සොළොස් කලාවෙන් එකකුදු නොවටී. නොදැනම මෙපමණ කලක් නොආවෙමැයි ඒ ස්ත්රියම නිමිති කොට ගෙන බලමින් සිටියාය. ශාස්තෘන්වහන්සේ පෙරහේතුසම්පත් ඇති ඇයට අට්ඨිනං නගරං කතං යන ධර්මපදයෙහි ගාථාව වදාරා
චරං වා යදිවා තිට්ඨිං නිසින්නො උදවා සයං යන
සුත්රය දෙසූසේක. ඒ තොමෝ ඒ රූපයෙහිම ගෙවීම හා වියැකීම පිහිටුවා රහත්බවට පැමිණියාය. මෙතැන්හි මේ කථාවස්තුව යට ඛේමා තෙරණියගේ කථාවස්තුව හා සමානවේයයි විස්තර නොකරන ලදී. එතැන්පටන් රූපනන්දාතෙරණිය ධ්යානයෙහි ඇලුම් කරන භික්ෂුණීන් අතරෙහි ප්රධානත්වයට පැමිණියාය. ශාස්තෘන්වහන්සේ පසුකලෙක ජේතවනයෙහි වැඩවසනසේක් පිළිවෙළින් භික්ෂුණීන් තනතරුවල තබමින් නන්දතෙරෙණිය ධ්යානයෙහි ඇළුම්කරන භික්ෂුණීන් අතුරෙන් අගතැන්හි තැබූසේක.
සොණා තෙරණිය
සත්වැන්නෙහි ආරද්ධවිරියානං යන්නෙන් දැඩිව ගන්නාලද පිරිපුන් වීර්ය්යය ඇති භික්ෂණීන් අතුරෙන් සොණා තෙරණිය අග්රයයි දැක්වෙයි. මෝතොමෝ වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක පිළිසිඳ ගෙන මෑතකාලයෙහි ධර්මය අසන්නී එක් භික්ෂුණියක පටන්ගන්නාලද වීර්ය්ය ඇති භික්ෂුණීන් අතුරින් අගතන්හි තබන ශාස්තෘන්වහ්නසේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඕ කල්ප ලක්ෂයක් දෙවිමිනිසුන් අතර සැරිසරා මේ බුද්ධොත්පාදයෙහි සැවැත්නුවර කුලගෙයක පිළිසිඳගෙන මෑතකාලයෙහි ගෘහවාසයෙහි පිහිටියා බොහෝ දූපුතුන් ලැබ සියල්ලන්ම වෙන් වෙන්ව ගෘහවාසයෙහි පිහිටෙව්වාය. එතැන්පටන් ඔවුහු මෝ අපට කුමක් කරන්නීදැයි ඇය තමන් ලඟට පැමිණි මවයයි හැඟීමකුදු නොකළාහුය. බොහෝ පුතුන් ඇති සොණාතොමෝ තමා කෙරෙහි ඔවුන්ගේ නිගරුබව දැන ගිහිව විසීමෙන් කුමක් කරන්නෙම්දැයි නික්ම පැවිදිවූවාය. ඉක්බිති භික්ෂුණීහු ඇයට මෝ පමණ නොදනියි. නොසුදුස්සක් කරතියි දඬුවම් කරති. දුපුත්තු ඒ දඬුවම් රැගෙන එන්නිය දැක මෝතොමෝ අද දක්වාත් ශික්ෂාපද මාත්රයකුදු නොදන්නීයයි දුටුදුටු තැන දොෂාරෝපණය කරත්. ඕ ඔවුන්ගේ වචනය අසා උපන්සංවේග ඇත්තී තමන්ගේ ගතිය පිරිසුදු කිරීමට වටීයයි හුන්තැනද සිටි තැනද දෙතින් (කුණප) ආකාරය සජ්ජ සජ්ක්ධායනය කරයි. ඕතොමෝ යම්සේ පෙර බොහෝ පුතුන් ඇති සොණායයි ප්රසිද්ධ වූවාද එසේ පසුව අරඹූ වීර්ය්ය ඇති සොණා තෙරණියයයි ප්රකට වූවාය.
ඉක්බිති එක්දිනක් විහාරයට යන්නාවූ භික්ෂුණීහු ‘සෝණා, භික්ෂුණී සංඝයාට ජලය උණුකරන්නැ’යි පවසා ගියාහුය ඕද දිය උණුකිරීමට කලින්ම ගිනිහලෙන් සක්මන් කරමින් දෙතිස් ආකාරය සජ්ක්ධායනය කරමින් විදසුන් වැඩුවාය. ශාස්තෘන්වහන්සේ ගඳකිළියෙහි හුන්සේක්ම මේ ඔභාස (ආලෝකයක් තුළින් ප්රකාශ කෙරෙන) ගාථාව වදාළ සේක.
‘යමෙක් උතුම් දහම නොදකිමින් අවුරුදු සියයක් ජීවත් වන්නේද? උතුම් දහම දක්නහුගේ එක්දිනක ජීවත්වීම වඩා අගනේය.’
ඕතොමෝ ගාථා කෙළවර රහත්බවට පැමිණ ‘මම රහත්බවට පැමිණියෙමි. ආගන්තුක මිනිස්සු (එය) නොසලකාම මා කෙරෙහි අවඤාවෙන් යම්කිසිවක් කියා බොහෝ පව් ඇතිකරගන්නාහුය. එය සැලකීමට කරුණක් කිරීමට වටීයයි සිතුවාය. ඕතොමෝ දිය බඳුන උදුනට නංවා යට ගිනි (පත්තු) නොකළාය. භික්ෂුණීහු පැමිණ උදුන දකිමින් ගිනි නොදැක ‘මේ මැහැල්ලට භික්ෂුණී සංඝයාට දිය උණු කරවයි කීවෙමු. තවමත් උදුනෙහි ගිනි රැස් නොකරය’යයි කීවාහුය. ‘ආර්ය්යාවරුනි, නුඹවහන්සේලාට ගින්නෙන් කවර වැඩෙක්ද? උණුදියෙන් නහනු කැමැත්තෝ බඳුනෙන් දිය ගෙන නහනු මැනවැ’යි කීවාය. ඔවුහුද මෙහි යම්කිසි කරුණක් වන්නේයයි ගොස් දියෙහි අත බහා උණුබව දැන එක් (දියගන්නා) කැටයක් ගෙන්වා ගෙන දිය ගනිත්, ගත්ගත් තැන (යළි) පිරෙයි. එකල්හි සියල්ලෝම ඇයගේ රහත් බවෙහි නිශ්චයට ගොස් අඩුයසෙහිවූවෝ පසඟ පිහිටුවා පාලඟ වැටී ‘ආර්ය්යාවනි, මෙපමණ කලක් නුඹවහන්සේ කෙරෙහි නොවිමසා හෙළා වෙහෙසවා කථා කෙළෙමු. අපට කමාකළ මැනවැයි කමා කරවූවාහුය. වැඩිමහළුවූවෝද උක්කුටුකයෙන් හිඳ ආර්ය්යාවනි, ක්ෂමා කරන්නැයි ක්ෂමා කරවූවාහුය. එතැන්පටන් මහළු කල්හි පැවිදිවීත් ඇරඹූ වීර්ය්යභාවයෙන් නොබෝකලකින්ම අග්රඵලයෙහි පිහිටියායයි තෙරණියගේ ගුණය ප්රකටවිය. මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේ ජේතවනයෙහි වැඩහිඳ පිළිවෙළින් භික්ෂුණීන් තනතුරුවල තබනසේක් සොණාතෙරණිය දැඩිවගත් වීර්ය්ය ඇති භික්ෂුණීන් අතුරින් අගතන්හි තැබූසේක.