සොණා තෙරණිය
සත්වැන්නෙහි ආරද්ධවිරියානං යන්නෙන් දැඩිව ගන්නාලද පිරිපුන් වීර්‍ය්‍යය ඇති භික්‍ෂණීන් අතුරෙන් සොණා තෙරණිය අග්‍රයයි දැක්වෙයි. මෝතොමෝ වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක පිළිසිඳ ගෙන මෑතකාලයෙහි ධර්‍මය අසන්නී එක් භික්‍ෂුණියක පටන්ගන්නාලද වීර්‍ය්‍ය ඇති භික්‍ෂුණීන් අතුරින් අගතන්හි තබන ශාස්තෘන්වහ්නසේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඕ කල්ප ලක්‍ෂයක් දෙවිමිනිසුන් අතර සැරිසරා මේ බුද්ධොත්පාදයෙහි සැවැත්නුවර කුලගෙයක පිළිසිඳගෙන මෑතකාලයෙහි ගෘහවාසයෙහි පිහිටියා බොහෝ දූපුතුන් ලැබ සියල්ලන්ම වෙන් වෙන්ව ගෘහවාසයෙහි පිහිටෙව්වාය. එතැන්පටන් ඔවුහු මෝ අපට කුමක් කරන්නීදැයි ඇය තමන් ලඟට පැමිණි මවයයි හැඟීමකුදු නොකළාහුය. බොහෝ පුතුන් ඇති සොණාතොමෝ තමා කෙරෙහි ඔවුන්ගේ නිගරුබව දැන ගිහිව විසීමෙන් කුමක් කරන්නෙම්දැයි නික්ම පැවිදිවූවාය. ඉක්බිති භික්‍ෂුණීහු ඇයට මෝ පමණ නොදනියි. නොසුදුස්සක් කරතියි දඬුවම් කරති. දුපුත්තු ඒ දඬුවම් රැගෙන එන්නිය දැක මෝතොමෝ අද දක්වාත් ශික්‍ෂාපද මාත්‍රයකුදු නොදන්නීයයි දුටුදුටු තැන දොෂාරෝපණය කරත්. ඕ ඔවුන්ගේ වචනය අසා උපන්සංවේග ඇත්තී තමන්ගේ ගතිය පිරිසුදු කිරීමට වටීයයි හුන්තැනද සිටි තැනද දෙතින් (කුණප) ආකාරය සජ්ජ සජ්ක්‍ධායනය කරයි. ඕතොමෝ යම්සේ පෙර බොහෝ පුතුන් ඇති සොණායයි ප්‍රසිද්ධ වූවාද එසේ පසුව අරඹූ වීර්‍ය්‍ය ඇති සොණා තෙරණියයයි ප්‍රකට වූවාය.
ඉක්බිති එක්දිනක් විහාරයට යන්නාවූ භික්‍ෂුණීහු ‘සෝණා, භික්‍ෂුණී සංඝයාට ජලය උණුකරන්නැ’යි පවසා ගියාහුය ඕද දිය උණුකිරීමට කලින්ම ගිනිහලෙන් සක්මන් කරමින් දෙතිස් ආකාරය සජ්ක්‍ධායනය කරමින් විදසුන් වැඩුවාය. ශාස්තෘන්වහන්සේ ගඳකිළියෙහි හුන්සේක්ම මේ ඔභාස (ආලෝකයක් තුළින් ප්‍රකාශ කෙරෙන) ගාථාව වදාළ සේක.
‘යමෙක් උතුම් දහම නොදකිමින් අවුරුදු සියයක් ජීවත් වන්නේද? උතුම් දහම දක්නහුගේ එක්දිනක ජීවත්වීම වඩා අගනේය.’
ඕතොමෝ ගාථා කෙළවර රහත්බවට පැමිණ ‘මම රහත්බවට පැමිණියෙමි. ආගන්තුක මිනිස්සු (එය) නොසලකාම මා කෙරෙහි අවඤාවෙන් යම්කිසිවක් කියා බොහෝ පව් ඇතිකරගන්නාහුය. එය සැලකීමට කරුණක් කිරීමට වටීයයි සිතුවාය. ඕතොමෝ දිය බඳුන උදුනට නංවා යට ගිනි (පත්තු) නොකළාය. භික්‍ෂුණීහු පැමිණ උදුන දකිමින් ගිනි නොදැක ‘මේ මැහැල්ලට භික්‍ෂුණී සංඝයාට දිය උණු කරවයි කීවෙමු. තවමත් උදුනෙහි ගිනි රැස් නොකරය’යයි කීවාහුය. ‘ආර්‍ය්‍යාවරුනි, නුඹවහන්සේලාට ගින්නෙන් කවර වැඩෙක්ද? උණුදියෙන් නහනු කැමැත්තෝ බඳුනෙන් දිය ගෙන නහනු මැනවැ’යි කීවාය. ඔවුහුද මෙහි යම්කිසි කරුණක් වන්නේයයි ගොස් දියෙහි අත බහා උණුබව දැන එක් (දියගන්නා) කැටයක් ගෙන්වා ගෙන දිය ගනිත්, ගත්ගත් තැන (යළි) පිරෙයි. එකල්හි සියල්ලෝම ඇයගේ රහත් බවෙහි නිශ්චයට ගොස් අඩුයසෙහිවූවෝ පසඟ පිහිටුවා පාලඟ වැටී ‘ආර්‍ය්‍යාවනි, මෙපමණ කලක් නුඹවහන්සේ කෙරෙහි නොවිමසා හෙළා වෙහෙසවා කථා කෙළෙමු. අපට කමාකළ මැනවැයි කමා කරවූවාහුය. වැඩිමහළුවූවෝද උක්කුටුකයෙන් හිඳ ආර්‍ය්‍යාවනි, ක්‍ෂමා කරන්නැයි ක්‍ෂමා කරවූවාහුය. එතැන්පටන් මහළු කල්හි පැවිදිවීත් ඇරඹූ වීර්‍ය්‍යභාවයෙන් නොබෝකලකින්ම අග්‍රඵලයෙහි පිහිටියායයි තෙරණියගේ ගුණය ප්‍රකටවිය. මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේ ජේතවනයෙහි වැඩහිඳ පිළිවෙළින් භික්‍ෂුණීන් තනතුරුවල තබනසේක් සොණාතෙරණිය දැඩිවගත් වීර්‍ය්‍ය ඇති භික්‍ෂුණීන් අතුරින් අගතන්හි තැබූසේක.
සකුලා තෙරණිය
අටවැන්නෙහි යදිදං සකුලා යන්නෙන් දිවැස ඇති භික්‍ෂුණීන් අතුරෙන් සකුලා තෙරණිය අග්‍රයයි දැක්වෙයි. මෝතොමෝත් පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක ඉපිද වියපත්වූවා ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසන්නී එක් භික්‍ෂුණියක දිවැස් ඇති භික්‍ෂුණීන් අතුරින් අගතන්හි තබන ශාස්තෘන්වහන්සේ දැක පින්දහම්කොට ඒ තනතුර පැතුවාය. ඒ කල්ප ලක්‍ෂයක් දෙවිමිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පදයෙහි සැවතෙහි කුල ගෙයක උපන්නා මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනය අසා ලද සැදැහැ ඇත්තී පැවිදිව නොබෝ කලකින්ම රහත්බවට පැමිණියාය. එතැන්පටන් දිවැසෙහි පුහුණුකරනලද වසඟබව ඇත්තී වූවාය. මෑතභාගයෙහි ශාස්තාන්වහන්සේ දෙව්රම්හි වැඩසිට භික්‍ෂුණීන් පිළිවෙළින් තනතුරුවල තබනසේක් මේ තෙරණිය දිවැස් ඇති භික්‍ෂුණීන් අතුරින් අගතැන්හි තැබූසේක.
භද්දා කුණ්ඩලකේසී තෙරණිය
නවවැන්නෙහි ඛිප්පාභිඤ්ඤාණං යන්නෙන් වහා වැටහෙන අභිඥා ඇති භික්‍ෂුණීන් අතුරෙන් භද්දා කුණ්ඩලකේසා තෙරණිය අග්‍රයයි දැක්වෙයි. මෝතොමෝත් පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නී ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසා එක් භික්‍ෂුණියක වහා වැටහෙන අභිඥා ඇති භික්‍ෂුණීන් අතුරෙන් භද්දා කුණ්ඩලකේසා තෙරණිය අග්‍රයයි දැක්වෙයි. මෝතොමොත් පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නී ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසා එක් භික්‍ෂුණියක වහා වැටහෙන අභිඥා ඇති භික්‍ෂුණීන් අතුරෙන් අගතන්හි තබන්නාවූ ශාස්තාන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඒ තොමෝ කල්ප ලක්‍ෂයක් දෙවිමිනිසුන් අතර සැරිසරා කාශ්‍යප බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි කිකී කාසි රජුගේ ගෙහි සොහොයුරියන් සත්දෙනාට ඇතුළත්ව අවුරුදු විසිදහසක් දසසිලු සමාදන්වී කුමරි බඹසරෙහි හැසිරෙන්නී සංඝයාට විසීමට පිරිවෙණක් කරවා එක් බුද්ධාන්තරයක් දෙවිමිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි රජගහ නුවර සිටු කුලයක පිළිසිඳ ගත්තාය. ඇයට ‘භද්දා’යි නම් කළාහුය.
එදිනයෙහිම එනුවර පුරෝහිත පුත්‍රයෙක්ද උපන්නේය. ඔහු උපන් වේලාවෙහි රජගෙදර ආදිකොට ඇති සියලු නගරයෙහි අවි දිළිසුනේය පුරෝහිත තෙමේ උදෑසනින්ම රජමාලිගයට ගොස් රජුගේ සුවින්ද විමසීය. රජතෙමේ, ‘ආචාර්‍ය්‍යය, සුවනින්දක් කොයින්ද? අද සියලු රැය රජ නිවහනෙහි දිලිසෙන ආවුධ දැක බියට පත් වූවාහු වෙමුයි කීවේය. මහරජතුමනි, එය හේතුකොටගෙන නොසිතනු මැනවි. නුඹවහන්සේගේ ගෙහි පමණක් ආවුධ නොදිලිසුණේය. සියලු නුවරෙහිම එසේ වීය’යි පුරෝහිතතෙමේ කීවේය. ‘ආචාර්‍ය්‍යයෙනි, කුමක් හෙයින්ද?’ ‘අපගේ ගෙදර සොර නැකතින් දරුවෙක් උපන්නේය. හෙතෙම සියලු නුවරට සතුරෙක්වී උපන්නේය. මෙය එයට පෙරනිමිත්තකි. නුඹවහන්සේට උවදුරක් නැත. ඉදින් ඔබවහන්සේ කැමැත්තහු නම් ඔහු භාර කරමු.’ ‘අපට පීඩාවක් නොමැති කල්හි ගෙන ඒමෙන් වැඩක් නැතැයි රජතුමා කීවේය. පුරෝහිත තෙමේ මගේ පුතා තම නම රැගෙන පැමිණියේයයි ඔහුට සත්තුකයයි නමක් කළේය. සිටුගෙහි භද්දා වැඩෙන්නීය. පුරෝහතිගෙහි සත්තුක වැඩෙයි. හෙතෙම තමන්ගේ දුව පැන ඇවිදිමින් ලෙස්සම් කිරීමට හැකි කල පටන් තමන් හැසිරෙන තන්හි යමක් දකීද? ඒ සියල්ල ගෙනවුත් මවුපියන්ගේ ගෙය පුරවයි. පියා ඔහුට කරුණු දහසක් කියාද වළක්වන්නට නොහැකි වූයේය.