ථෙරී පාළි වර්‍ණනාව
මහාපජාපතී ගොතමී තෙරණිය
ථෙරීපාළියෙහි ප්‍රථම සූත්‍රයෙහි යදිදං මහාපජාපති ගොතමි’ යන්නෙන් මහාප්‍රජාපතී ගෞතමී තෙරණිය බොහෝ රාත්‍රි දන්නාවූ භික්‍ෂුණීන් අතුරින් අග්‍ර වන්නීයයි දක්වනුලැබේ.
ඇයගේ ප්‍රශ්නකර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතුමිය වනාහි පියුමුතුරා බුදුන් කල හංසවතියෙහි කුලගෙයක පිළිසිඳ ගෙන පසුකලෙක ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනය අසමින් එක් භික්‍ෂුණියක බොහෝ රාත්‍රිදන්නියන් අතුරින් අගතනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට එ‍් තනතුර පැතූහ. ඕතොමෝ දිවි ඇතිතෙක් දන්දී සිල්සමාදන්ව පෙහෙවස් වැස කල්ප ලක්‍ෂයක් ඉක්මවා බරණැසෙහි පන්සියයක් දාසිනීන්ගේ දෙටු තැනැත්තියවී උපන්නාය.
ඉක්බිති වස්එළඹෙන කාලයෙහි පසේබුදුවරු පස්නමක් නන්‍දමූලක කඳුබෑවුමෙන් (අවුත්) ඉසිපතනයෙහි බැස නුවරෙහි පිඬු හැසිර ඉසිපතනයටම ගොස් [missing trans] වස් එළඹෙන කිළියක් සඳහා අත්වැඩ ඉල්ලන්නෙමුයි සිවුරු පොරවා සැන්දෑ යාමයෙහි නුවරට පිවිස සිටුගේ ගෙදොරෙහි සිටියාහුය. දෙටුදාසිය කළයක් ගෙන දිය තොටට යන්නී නුවරට පිවිසෙන පසේබුදුවරුන් දුටුවාය. සිටුතෙමේ උනවහන්සේලා පැමිණි කරුණ අසා අපට ඉඩක් නැත. ආපසු වඩිනසේක්වායි කීවේය.
ඉක්බිති නුවරින් නික්ම යන උන්වහන්සේලා දැක දෙටු දාසිය කළය ගෙන පිවිසෙන්නී කළය බහා තබා වැඳ නැමී මුහුණ වසාගෙන ආර්‍ය්‍යවරු නගරයට පිවිසි සැණින් නික්මෙන්නාහු කුමක් නිසාදැයි ඇසුවාය. වස්එළඹීම සඳහා අවශ්‍ය කුටියකට අත්කම් ඉල්වීමට ආවෙමුයි උන්වහන්සේලා කීහ. ‘ස්වාමීනි, ලබනලදදැ’යි ඕ ඇසුවාය. ‘උපාසිකාව, නොලදැයි’ කීවාහුය. ‘කිමෙක්ද? මේ කිළිය ධනවතුන් විසින්ම කළ යුත්තක්ද දිළිඳුන් විසින්ද කළ හැක්කක්දැ’යි ඕ ඇසුවාය. ‘යම් කිසිවකු විසින් හැකිය.’ ‘මැනවි, ස්වාමීනි, අපි කරන්නෙමු. හෙට මගේ දානය පිළිගනු මැනවැ’යි ආරාධනා කොට දිය හැරගෙන ගොස් යළි කළ රැගෙන අවුත් තොටුපල මගෙහි සිට ආවාවූ සෙසු දාසියෝ මෙහිම වෙත්වායි සියල්ලන් පැමිණි විට යෙහෙළියෙනි, කිම නිබඳවම අනුනට දාසකම් කරවුද? නැතහොත් දාසභාවයෙන් මිදීමට කැමැත්තහුදැ?යි ඇසුවාය. ආර්‍ය්‍යාවනි, අදම මිදීමට කැමැත්තෙමුයි දාසියෝ කීහ. ‘එසේ නම් මවිසින් පසේබුදුවරු පස්නමක් අත්කම් නොලබන සේක් හෙට දිනට (දානය සඳහා) ඇරයුම් කරනලදසේක. නුඹලාගේ සැමියන් ලවා එක් දිනක් අත්කම් දෙවවුයි (දෙටුදාසිය කීවාය) ඔවුහු මැනවැයි පිළිගෙන සවස වනයෙන් ආකල්හි සැමියන්ට සැළ කළාහුය. ඔවුහු මැනවැයි පිළිගෙන දෙටු දැස්සාගේ ගෙදොරට රැස්වූහ.
ඉක්බිති ඔවුන්ට දෙටුදැස්ස හෙට නුඹලා පසේබුදුවරුන්ට අත්කම් දෙවවුයි අනුසස් පවසා යමෙක් කිරීමට නොකැමැත්තෝ වූවාහුද ඔවුනට දැඩි අවවාදයෙන් තර්ජනය කොට භාරගැන්වූවාය. ඕ තොමෝ දෙවැනිදිනයෙහි පසේබුදුවරුන්ට බත් දී සියලුම දාසපුත්‍රයන්ට සංඥාවක් දුන්නාය. ඔවුහු එකෙණෙහිම වනයට පිවිස දැව සමුහයක් රැස් කොට සියදෙනා සියදෙනා වී සක්මන්මළු ආදී පිරිවර ඇති එකිනෙක් කුටිය බැගින් තනා ඇඳ පුටු පානීය පරිභෝජනීයාදියද තබා පසේබුදුවරුන් තෙමසක් එහි විසීම සඳහා පිළිණකරවා වාර භික්‍ෂාදානයන් පිහිටෙව්වාහුය. යමෙක් තමන්ට අයත් වාර දිනයෙහි දන්දීමට නොහැකිවෙයිද ඔහුට දෙටුදැස්ස තම ගෙයින් ගෙනවුත් දෙයි. මෙසේ තෙමසක් පිළිදැඟුම් කොට දෙටුදැස්ස එක්එක් දැස්ස ලවා එක් එක් සළුවක් පිළියෙළ කරවූවාය. දළරෙදි පන්සියයක් විය. ඒවා හුවමාරුකොට පසේබුදුවරුන් පස්නමට තුන්සිවුරු කොට දුන්නාය. පසේබුදුවරු ඔවුන් බලාසිටියදීම අහසින් ගන්‍ධමාදන පර්‍වතයට වැඩියාහුය.
ඔවුහු සියල්ලෝද දිවි ඇති තෙක් කුසල් කොට දෙව්ලොව උපන්නාහුය. ඔවුන්ගෙන් දෙටු තැනැත්තිය එයින් සැව බරණැසට නුදුරෙහි පෙහෙර ගමෙහි දෙටුපෙහෙරාගේ ගෙහි උපන්නාය. ඉක්බිති එක්දිනක් පදුමවතියගේ පුත් පන්සියයක් පසේ බුදුවරු බරණැස් රජුවිසින් ඇමතුම් ලැබුවාහු රජ ගෙදොර දොරටුවට අවුත් බලන කිසිවකුදු නොදැක ආපසු හැරී නුවරදොරටුවෙන් නික්ම ඒ පෙහෙරගමට වැඩියාහුය. නොදැක ආපසු හැරී නුවරදොරටුවෙන් නික්ම ඒ පෙහෙරගමට වැඩියාහුය. ඒ ස්ත්‍රිය පසේ බුදුවරුන් දැක සතුටු වෙමින් සියල්ලන්ට වැඳ භික්‍ෂාව දුන්නාය. ඒ පසේබුදුවරු බත්කිස ගන්‍ධමාදනයටම වැඩියාහුය.