උප්පලවණ්ණා තෙරණිය
තුන්වැන්නෙහි උප්පලවණ්නා යනු නිලුපුල් ගැබකට සමානවූ වර්‍ණයෙන් යුක්තවූ බැවින් එසේ ලබනලද නම්ඇති තෙරණියයි. ඕ වනාහි පියුමුතුරා, බුදුන් කල හංසවතියෙහි කුලගෙයක පිළිසිඳගෙන පසුකලෙක මහජනයා සමඟ බුදුන් සමීපයට ගොස් දහම් අසන්නී එක් භික්‍ෂුණියක සෘද්ධිමත් භික්‍ෂුණීන් අතුරෙන් අගතනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක සත්දිනක් බුදුපාමොක් මහසඟනට මහදන්දී එම තනතුර පැතුවාය. ඕතොමෝ දිවි ඇතිතෙක් කුසල්කොට දෙව්මිනිසුන් අතුරෙහි සැරිසරන්නී කාශ්‍යප බුදුන්කල බරණැස් නුවර කිකී නම් කාශි රජුගේ ගෙහි පිළිසිඳ ගෙන සොහොයුරියන් සත් දෙනාට ඇතුළත්ව විසිදහසක් අවුරුදු බඹසර වැස බික්සඟනට පිරිවෙණක් කරවා දෙව්ලොව උපන්නී
එයින් සැව නැවත මිනිස්ලොවට එමින් එක්ගමක සියතින් වැඩකොට දිවිගෙවන තැනක උපන්නීය. ඕ තොමෝ එක්දිනක් කුඹුරෙහි කිළියට (පැලට) යන්නී අතරමඟ එක්විලක උදයෙන්ම පිපුණු නෙළුම්මලක් දැක ඒ විලට බැස ඒ මලද විලඳ බැද පන්සියයක් විලඳ ගණන් කළාය. එකෙණෙහි ගන්‍ධමාදන පව්වෙහි නිරෝධ සමාපත්තියෙන් නැඟීසිටි එක් පසේබුදුකෙනෙක් අවුත් ඇයට නුදුරු තන්හි වැඩසිටියහ. ඕතොමෝ පසේබුදුන්වහන්සේ දැක විලඳ සමඟ නෙළුම්මල ගෙන කුටියෙන් බැස විලඳ පසේබුදුන්වහන්සේගේ පාත්‍රයෙහි බහා නෙළුම්මලින් පාත්‍රය වසා දුන්නීය. ඉක්බිති ඇයට පසේබුදුන්වහන්සේ මඳදුරක් වැඩිකල්හි, ‘පැවිද්දෝ නම් මලින් වැඩක් නැත්තාහුය. මම මල ගෙන පළඳින්නෙමැයි සිතුවාය. ගොස් පසේබුදුන්ගේ අතින් මල ගෙන, ඉදින් ආර්‍ය්‍යයන්වහන්සේ මලින් වැඩක් නැත්තෙක් වන්නාහු නම් පාත්‍රය මත්තෙහි තැබීමට නොදෙන්නහුය. ඒකාන්තයෙන්ම උන්වහන්සේට වැඩක් ඇත්තේයයි සිතුවාය. (එසේ සිතා) යළිගොස් පාත්‍රය මත්තෙහි තබා පසේබුදුන් ක්‍ෂමා කරවාගෙන ස්වාමීනි, මට මේ විලඳ (දීමේ) පිනෙන් විලඳ ගණනට පුත්තු වෙත්වා! නෙළුම්මල දීමේ පිනෙන් උපනුපන් තැන පියවරින් පියවරට නෙළුම්මල් නැඟේවායි පැතුමක් කළාය. පසේබුදුන්වහන්සේ ඇය බලා සිටියදීම අහසින් ගන්‍ධමාදනයට ගොස් ඒ නෙළුම්මල නන්‍දමූලක ප්‍රාග්භාරයෙහි පසේබුදුන්වහන්සේලා පයතබන හිණ සමීපයෙහි පාපිස්නක් කොට තැබූසේක.
ඕ තොමෝද ඒ පින්කමෙහි විපාකයෙන් දෙව්ලොව පිළිසිඳ ගත්තාය. උපන්කල පටන් ඇයගේ පියවරින් පියවරට නෙළුම්මල් නැඟුනේය. ඕතොමෝ එයින් සැව පර්‍වතපාදයක එක් මහ නෙළුම් විලක පියුම් ගැබක උපන්නීය. ඒ විල ඇසුරුකොට එක් තවුසෙක් වසයි. හෙතෙම උදයෙන්ම මුවදෙවුනා පිණිස විලට ගොස් ඒ මල දැක සිතුවේය: මේ මල අනෙක් ඒවාට වඩා ලොකුය. අනෙක් මල් පිපී ඇත. මෙය හැකිළී ඇත. මෙහි කිසියම් කරුණක් ඇත.’ (මෙසේ සිතා) දියට බැස ඒ මල ගත්තේය. එය ඔහු විසින් ගත් කෙණෙහිම පිපුණි. තවුසා පියුම් ගැබ ඇතළත හොත් දැරිය දුටුවේය. දුටුකල්හි පටන් දුහිතෘස්නෙහය ලැබ පියුම සමඟම පන්සලට ගෙනවුත් ඇඳෙහි වැදහෙව්වේය. ඉක්බිති ඔහුට ඇයගේ පින්බෙලෙන් මහපට ඇඟිල්ලෙහි කිරි නිපැදිණ. හෙතෙම ඒ මල මැලවුණු කල්හි වෙනත් අලුත් මලක් ගෙනවුත් ඇය වැදහෙව්වේය. ඉක්බිති ඇයට දුවපැන ඇවිදිමින් සෙල්ලම් කිරීමට හැකි කාලයෙහි පටන් පියවරින් පියවරට නෙළුම්මල් මතුව එයි. ඇයගේ සිරුරුපැහැය කොකුම් රැසක මෙන් වෙයි. ඕ දේවවර්‍ණයට නොපැමිණියා මනුෂ්‍යවර්‍ණය ඉක්මවූවාය.