පටාචාරා තෙරණිය
සිවුවැන්නෙහි විනයධරානං යදිදිං පටාචාරා’ යන්නෙන් පටාචාරා තෙරණිය විනයධර භික්‍ෂුණීන් අතුරෙන් අග්‍රයයි දක්වනු ලැබේ. ඕතොමෝ වනාහි පියුමුතුරා බුදුන් කල හංසවතියෙහි කුලගෙයක පිළිසිඳගෙන පසුකලෙක ශාස්තෘන්වහන්සේගේ දම්දෙසුම අසන්නී එක් භික්‍ෂුණියක විනධර භික්‍ෂුණීන් අතුරින් අගතන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඕ දිවිතෙක් කුසල් කොට දෙවිමිනිසුන්අතර සැරසරා කාශයප බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි කිකී රජුගේ ගෙහි පිළිසඳ ගෙන සොහොයුරියන් සත්දෙනාට ඇතුළත්ව අවුරුදු විසිදහසක් බඹසර හැරි බික්සඟනට පිරිවෙණක් කරවා යළි දෙව්ලොව ඉපිද එක් බුද්ධාන්තරයක් සැපත් විඳ මේ බුද්ධොත්පාදයෙහි සැවතෙහි සිටුගෙයක පිළිසිඳ ගත්තාය.
ඕ පසුකාලයෙහි වියටපත්වූවා සමත ගෙදර එක් කම්කරුවෙකු සමඟ ඇසුරු කොට පසු කලෙක තමන්ගේ සමාජතික කුලයට යන්නී, නුඹ හෙට සිට වා දොරටු සියයකින්ද මා දැකීමට නොලබන්නෙහිය. ඉදින් (මගෙන්) වැඩක් ඇත්නම් දැන්ම මා රැගෙන යන්නැ’යි ඇසුරු කළ පුරුෂයාට සංඥාවක් දුන්නාය. හෙතෙම එසේ වේවා’යි සුදුසු හස්තසාර වස්තුව ගෙන ඇය රැගෙන නුවරින් තුන්සතර යොදුනක් ඉක්මවා එක් ගමෙක වාසය කළේය.
මෑත කාලයෙහි ඇයගේ කුස ගැබක් පිහිටියේය. ඕතොමෝ ගැබ මුහුකුරා ගියවිට, ‘මෙය අපට පිහිට ඇති තැනක් නොවේ. කුලගෙදර යමු හිමියනි’යි කීවාය. හෙතෙම අද යමු හෙට යමුයි යාමට නොහැක්කේ කාලය ගෙව්වේය. ඕ එයට කරුණු දැන මේ බාලයා මා ගෙන නොයන්නේය’යි ඔහු පිටතට ගිය කල්හි තනිවම කුලගෙයට යන්නෙමැයි මඟයි පලිපන්නීය. හෙතෙම අවුත් ඇය ගෙහි නොදකින්නේ අසල්වැසියන් විමසා කුලගෙයට ගියායි අසා මා නිසා කුලදියණිය අනාථවූවායි පියවර අනුව ගොස් (ඇය වෙත) එළඹියේය. ඇයට මඟම දරුප්‍රසූතිය සිදුවිය. ඉක්බිති යමක් සඳහා අපි යන්නෙමුද ඒ වැඩය අතරමඟම සිදුවීය. දැන් ගොස් කුමක් කරන්නෙමුදැයි පෙරළා පැමිණියායහුය. යළි ඇයගේ කුසෙහි දරුගැබක් පිහිටියේයයි පෙර අයුරින්ම විස්තර කළයුතුය.
අතරමඟ ඇයට දරුප්‍රසූතිය සිදුවූ කෙණෙහිම සිව්දිගින් වැසිවළාකුළක් නැඟී ආයේය. ‘හිමියනි, නොකල්හි සිවුදිගින් වැසිවළාකුළක් නැගිණි. වැසි නොවැටෙන තැනක් කිරීමට වෑයම් කරමු’යි ඕතොමෝ ඒ පුරුෂයාට කීවාය. හෙතෙම එසේ කරන්නෙමැයි දඬුවලින් කුටියක් තනා සෙවිලි කිරීම සඳහා තණ ගෙනෙන්නෙමැයි එක් තුඹසක් මුල තණ සිඳියි. ඉක්බිති තුඹසෙහි හුන් කලුනයෙක් ඔහුට දෂ්ට කළේය. හෙතෙම එතැනම වැටුනේය. ඕතොමෝත් දැන් එන්නේය. දැන එන්නේයයි (බලාපොරොත්තුවෙන්) සියලු රැය ගෙවා, ‘ඒකාන්තයෙන්ම හෙතෙම මෝ අනාථවූවකැයි මග අතහැර දමා ගියේවනැ’යි (සිතා) එළිය වැටුණු කල්හි පිය අනුව සොයා බලන්නී තුඹසමුල වැටුණහු දැක මානිසා පුරුෂයා නැසුනේයයි හඬාවැළප කුඩාදරුවා උකුළෙන් ගෙන වැඩිමහල්ලා ඇඟිලිවලින් අල්වාගෙන මගින් යන්නී අතරමඟ එක් උතුරා යන ගඟක් දැක මේ දරුවන් දෙදෙනාම එක්විටම ගෙනයාමට නොහැක්කෙමියි දෙටුදරුවා මෙතෙර තබා (කුඩා) දරුවා එතෙරට පමුණුවා කඩමාලු දරණුවක වැදහොවා යළි ආපසු අවුත් අනෙකා ගෙන යන්නෙමැයි නදියට බැස්සාය.
ඉක්බිති ඇය ගඟමැඳට පැමිණිකල්හි එක් උකුස්සෙක් මේ මස්පිඬුවකැයි හැඟීමෙන් දරුවාට කෙටීමට එයි. ඕ අත විසුරුවා උකුස්සා පළවා හැරියාය. ඇයගේ ඒ හස්තවිකාරය දැක වැඩිමහළු දරුවා ‘මා කැඳවති’යි හැඟීමෙන් නදියට බැස සැඩපහරට වැටුනේ සැඩපහර අනුව (ගසාගෙන) ගියේය. ඒ උකුස්සාද ඇය නොපැමිණයදීම ඒ දරුවා ගෙන ගියේය. ඕතොමෝ බලවත් සොවින් තැවුනා අතරමඟ මේ විලාපගීතය ගයමින් යයි.
පුත්තු දෙදෙනා කළුරිය කළහ. මගේ සැමියා මගදි මළේය.
ඕතොමෝ මෙසේ වැළපෙමින්ම සැවතට පැමිණ කුල සභාගයට (සියමාපිය ගෙය අසළට) ගොසුවුවද ශෝකය හේතුවෙන් තමන්ගේ ගෙය වෙන්කොට දැන ගැනීමට නොහැකිවන්නී මෙතැන මෙබඳු නම් වූ ගෙයක් ඇත. ඒ ගෙය කුමක්දැයි විමසුවාය. ‘නුඹ ඒ කුලය ගැන අසා කුමක් කරන්නෙහිද? ඔවුන් වසන ගෙය සුළංපහරින් කැඩීවැටිණ. එහි සියලු දෙනාම මියගියාහුය. ඒ ලොකුකුඩා අය එක් චිතකයක දැවෙති. බලව. මේ දුම්වැඩි පෙනේය’යි කීවාහුය. ඕතොමෝ ඒ කථාව අසාම ‘නුඹලා කුමක් කියන්නහුදැයි තමන් හැඳිසළුව (ඉඟ) දරා ගැනීමට නොහැක්කී උපන් අයුරින්ම දෙඅත් දැඩිව බැඳගෙන හඬමින් නෑයන්ගේ චිතකය අසළට ගොස් විලාපගීතය සම්පූර්‍ණකොට හඬන්නී,
පුත්තු දෙදෙනා මිය ගියහ. මගේ සැමියා මඟදී මළේය.
මවද පියාද සොයුරාද එක් සෑයක දැවෙති’
යි කීවාය. අන් මිනිසුන් දුන් වස්ත්‍රයද ඉරඉරා විසිකරයි. ඉක්බිති දුටුදුටු තැන මහජනයා ඇය පිරිවරා හැසිරෙයි. ඉක්බිති ඇයට වස්ත්‍රපරිහරණයකින් තොරව හැසිරේයයි පටාචාරායි නම් කළාහුය. යම් හෙයකින් ඇයගේ නිරුවත්බවින් ඒ ලජ්ජා නැති හැසිරීමක් ප්‍රකටවූයේද එහෙයින් පටු ආචාරයක් ඇයටනුයි වැටුණු පැවැත්ම ඇයටනුයි පටාචාරායි නම් කළාහුය.
ඕතොමෝ දිනක් ශාස්තෘන්වහන්සේ මහජනයාට දම් දෙසන කල්හි විහාරයට පිවිස පිරිස් කෙළවර සිටියාය. ශාස්තෘන්වහන්සේ මෙත් පතුරා නැඟණිය සිහිය ලබව. සිහිය ලබව නැඟණියයි පැවසූසේක. ඇයට ශාස්තෘන්වහන්සේගේ වචනය අසා දැඩිවිලිබියක් ආයේය. ඕ එහිම බිම හිඳගත්තාය. නුදුරෙහි සිටි මිනිසෙක් උතුරුසළුව (එදෙසෙට) විසිකොට දුන්නේය. ඕ එය හැඳ දහම් ඇසුවාය. ශාස්තෘන්වහන්සේ ඇයගේ පැවතුම් වශයෙන් මේ ධර්‍මපදයෙහි ගාථා වදාළසේක:
පිහිට පිණිස පුත්තු නැත. පියෙක් නැත. නෑයෝ නැත. මාරයා විසින් යටත් කරගනු ලැබුවහුව නෑයන් අතරෙහි පිහිටක් නැත’