භද්දාකාපිලානි තෙරණිය
දසවැන්නෙහි පුබ්බේනිවාසං යන්නෙන් පෙර විසූ කඳපිළිවෙළ සිහිකරන භික්ෂූණීන් අතුරින් භද්දා කාපිලානිය අග්රයයි දැක්වෙයි. ඕතොමෝ වනාහි පියුමුතුරා බුදුන් කල හංසවතියෙහි කුලගෙයක උපන්නී ශාස්තෘන්වහන්සේගේ ධර්මදේශනය අසමින් එක් භික්ෂුණියක පෙරවිසීම සිහිකරන්නාවූ භික්ෂුණීන් අතුරෙන් අග තනතුරෙහි තබන්නාවූ බුදුන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඕතොමෝ කල්ප ලක්ෂයක් දෙව්මිනිසුන් අතුරෙහි සැරිසරා බුදුන් නූපන් කල්හි බරණැස කුලගෙයක පිළිසිඳ ගෙන තමන්ගේ සහෝදරයාගේ බිරිය සමඟ කලහ කරන්නී ඇය පසේබුදුන්වහන්සේට පිණ්ඩපාතය දුන්කල්හි මෝ මොහුට පිණ්ඩපාතය දී තමන්ගේ වසයට ගන්නීයයි පසේබුදුන්ගේ අතින් පාත්රය ගෙන බත් විසිකොට මඩපුරවා දුන්නීය. මහජනයා මෝතෝමෝ පහත් තැනැත්තියකැයි නින්දා කොට යම් තැනැත්තියක විසින් නුඹ සමඟ කලහ කරන ලද්දේද? ඇයට කිසිවක් නොකෙළෙහි. පසේබුදුන්වහන්සේ නුඹට අපරාධයක් කෙළේදැයි ඇසීය. ඕතොමෝ ඔවුන්ගේ වචනයෙන් ලජ්ජා වන්නී යළි පාත්රය ගෙන මඩ ඉවත් කොට දොවා සුවඳසුණෙන් උලා චතුමධුර පුරවා මත්තෙහි ඉසිනලද පියුම්ගැබක පැහැය ඇති ගිතෙලින් බබලන්නක් කොට පසේබුදුන්වහන්සේගේ අතෙහි තබා යම්සේ මේ පිණ්ඩපාතය බැබළුනේ වේද? එසේ මගේ සිරුර බබළන්නේ වේවායි ප්රර්ත්ථනාවක් තැබුවායයි සියල්ල මහාකාශ්යප තෙරුන්ගේ කථාවස්තුවෙහි කියනලද ක්රමයෙන්ම දතයුතුය.
මහාකාශ්යප තෙරුන්වහන්සේ වනාහි දකුණු මග ගෙන තථාගතයන්වහන්සේ සමීපයෙහිවූ බහුපුත්තක නිග්රොධ මූලයට ගියහ. මේ භදදාකාපිලානිය වම්මග ගෙන මාගමුන්ට පැවිද්දට නොඅනුදත් බැවින් පරිබ්බාජිකාරාමයකට ගියාය. යම් දිනෙක මහාප්රජාපතී ගොතමිය පැවිද්ද ලද්දීද එකල්හි ඒ තෙරණිය තෙරණීන් සමීපයෙහි පැවිද්ද උපසම්පදාවද ලැබ මෑත කාලයෙහි විදර්ශනාවට කටයුතු කරන්නී රහත්බවට පැමිණ පෙරවිසූ කඳ පිළිවෙළ දැනීමේ නුවණෙහි පුරුදු කරනලද වසඟභාවය ඇත්තී වූවාය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ දෙව්රම් වැඩහිඳ පිළිවෙළින් භික්ෂූණීන් තනතුරුවල තබනසේක් මේ තෙරණිය පෙරවිසූ කඳපිළිවෙළ සිහිකරන භික්ෂූණීන් අතුරින් අගතැන්හි තැබූසේක.
භද්දාකච්චානා තෙරණිය
එකොළොස්වැන්නෙහි මහාභිඤ්ඤාප්පත්තානං යන්නෙන් මහත් අභිඥාවන්ට පත්වූ භික්ෂුණීන් අතුරින් බද්දාකච්චානා අග්රයයි දැක්වෙයි. එක් බුදුවරයෙකුට සතර දෙනෙක් පමණක්ම මහා අභිඥා ඇත්තෝ වෙත්. ඉතිරි ශ්රාවකයෝ එසේ නොවෙත්, අවශේෂ ශ්රාවකයෝ වනාහි කල්පලක්ෂයක්ම සිහිකිරීමට හැක්කෝ වෙත්. එයින් මත්තෙහි නොවෙත්. මහා අභිඥාප්රාප්ත ශ්රාවකයෝ වනාහි කල්පලක්ෂයක් අධික කොට ඇති අසංක්යයක් සිහිකරති. අපගේ ශාස්තෘ ශාසනයෙහිද අගසව් දෙනම බක්කුල තෙරුන්වහන්සේ භද්දාකච්චානා තෙරණිය යන සතරදෙනා එපමණක් සිහි කිරීමට සමත් වූවාහුය. එබැවින් මෙම තෙරණිය මහා අභිඥාප්රාප්ත භික්ෂුණීන් අතුරින් අගුනම් වූහ. භද්දාකච්චානා යනු ඇයගේ නමයි. මනොඥ කාංචනයක මෙන්ද උතුම් ස්වර්ණයක මෙන්ද ඇයගේ ශරීරවර්ණය විය. ඕතොමෝ එබැවින් භද්දාකංචනායි නමක් ලැබුවාය. ඕතොමෝ පසුව කච්චානායි පළට වූවාය. මේ රාහුලමාතාවට පර්ය්යාය නාමයකි.
ඕ තොමෝ වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක පිළිසිඳගෙන පසුකලෙක ශාස්තෘන්වහන්සේගේ ධර්මකථාව අසා එක්භික්ෂුණියක මහා අභිඥාප්රාප්ත භික්ෂුණීන් අතුරින් අග්රස්ථානයෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඕ කල්ප ලක්ෂයක් දෙව්මිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි සුප්පබුද්ධ ශාක්යයාගේ නිවසෙහි පිළිසිඳ ගත්තාය. භද්දාකච්චානායි ඇයට නම් කළාහුය.
ඕ වියපත් වූවා බෝසතුන්ගේ නිවසට ගියාය. පසුකලෙක රාහුලකුමරු නම් පුතකු වැදුවාය. ඔහු උපන් දිනයේම බෝසත්තෙමේ නික්ම ගොස් බෝමැඬෙහි සර්වඥතාවට පත්ව ලෝකානුග්රහය කරන්නේ අනුපිළිවෙළින් කිඹුල්වතට පැමිණ ඥාතීන්ට සංග්රහ කළේය. පසුකලෙක සුදොවුන් මහරජු පිරිනිවන් පෑකල්හි මහාප්රජාපතී ගෝතමිය පන්සියයක් මාගමුන් සමඟ පැවිදි වූවාය. රහල්මවද ජනපදකල්යාණියද (මහාප්රජාපතී) තෙරණිය වෙතට ගොස් පැවිදිවූහ. ඕ පැවිදිවූ කාලයෙහි පටන් භද්දකච්චානතෙරෙණියයි ප්රසිද්ධ වූවාය. මෑතකාලයෙහි විදසුන් වඩා රහත් බවට පත්වූවා අභිඥාවන්හි පුරුදුකරන ලද වසඟබව ඇත්තී වූවාය. එක් පළඟක වැඩහුන්නා එක් සිහිකිරීමකින් කල්පලක්ෂයක් අධික කොට ඇති අසංඛ්යයක් සිහි කරන්නීය. ඇයගේ එම ගුණය ප්රකට වූ කල්හි ශාස්තෘන්වහන්සේ දෙව්රමෙහි වැඩ හිඳ භික්ෂුණීන් පිළිවෙළින් තනතුරුවල පිහිටුවමින් මේ තෙරණිය මහාඅභිඥාප්රාප්ත භික්ෂුණීන් අතුරින් අගතනතුරෙහි තැබූසේක.