කුටිකණ්ණ සොණ තෙරණුවෝ
අටවැනිවර්‍ගයෙහි කල්‍යාණවාක්කරණානං යන්නෙහි වචනක්‍රියාව ‘වාකකරණං’යි කියනු ලැබේ. මිහිරිවදන් ඇත්තවුන් අතුරෙන්ය යන අරුත්ය. මේ තෙරුන්වහන්සේ දහබලයන්වහන්සේ සමඟ එක් ගඳකිළියෙහි තථාගතයන්වහන්සේගේ මධුරස්වරයෙන් දහම් දෙසූහ. ශාස්තෘන්වහන්සේ ඔහුට සාධුකාර දුන්සේක. එහෙයින් හෙතෙම මිහිරිවදන් ඇත්තවුන් අතුරෙන් අග්‍ර නම්විය. ඔහුට සෝණයයි නම් කළාහුය. කෙළක් අගනා කන් පළඳනාවක් දැරීය. එහෙයින් ‘කුටිකණ්ණ’යි කියනුලැබේ. කෙළක් අගනා කන් ඇත්තේ යනු අර්‍ත්‍ථයි.
ඔහුගේ ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙමේත් පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි පෙර කියනලද ක්‍රමයෙන්ම මහජනයාසමඟ විහාරයට ගොස්පිරිස් කෙළවර සිටියේ දහම් අසමින් එක් භික්‍ෂුවක කලණ වදන් ඇත්තවුන් අතුරෙන් අගතනතුරෙහි තබන බුදුන්වහන්සේ දැක මාද අනාගතයෙහි එක් බුදු කෙනෙකුන්ගේ සසුනෙහි කලණවදන් ඇත්තවුන් අතුරෙන් අග්‍රවීමට වටීයයි සිතා දශබලයන්වහන්සේට නිමන්ත්‍රණය කොට සත් දිනක් මහදන්දී, ස්වාමීනි, නුඹවහන්සේ විසින් යම්භික්‍ෂුවක මෙයින් දින සතකට පෙර කලණවදන් ඇත්තවුන් අතුරෙන් අගතන්හි තැබූ සේක්ද මමද මේ පුණ්‍යකර්‍මයාගේ විපාකයෙන් අනාගතයෙහි එක් බුදු කෙනෙකුන්ගේ සසුනෙහි එවැන්නෙක් වෙම්වා’යි අර්‍ත්‍ථනා කළේය. ශාස්තෘන්වහන්සේ එයට අනතුරක් නොමැති බව දැන අනාගතයෙහි ගෞතම බුදුන්ගේ සසුනෙහි කලණවදන් ඇත්තවුනට අග්‍ර වන්නේහිය’යි විවරණදී වැඩිසේක.
හෙතෙමේත් දිවි ඇති තෙක් කුසල් කම් කොට කල්ප ලක්‍ෂයක් දෙවියන්ද මිනිසුන්ද අතුරෙහි සැරිසරන්නේ අපගේ බුදුන්වහන්සේගේ පහළවීමට කලින්ම දෙව්ලොවින් සැව කාලි නම් ඇති කුරරඝරිකවූ උපාසිකාවකගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඕ ගැබ මුහුකුරා ගිය කල්හි රජගහනුවරෙහි තමන්ගේ කුලනිවසට ආවාය.
එසමයෙහි අපගේ ශාස්තාන්වහන්සේ සර්‍වඥතාවට පත්ව ඉසිපතනයෙහි දම්සක් පැවත්වූසේක. දම්සක් පැවැත්මෙහිදී දසදහසක් සක්වළ දෙවියෝ රැස්වූහ. එහි අටවිස්සක්වූ යක්‍ෂසේනාපතීන් අතුරෙන් එක් සාතාගිර නම්වූ යක්‍ෂයෙක් තාථාගතයන්වහන්සේගේ ධර්‍මකථාව අසා සෝවාන් පෙලෙහි පිහිටා මෙසේ සිතීය. ‘කිම මෙම මිහිරි ධර්‍මකථාව මගේ යහළු හෙමවත විසින් අසන ලද්දේද නැද්ද’ යනුවෙනි. හෙතෙම දේවසමූහයා අතරත බලන්නේ ඔහු නොදැක, ‘ඒකාන්තයෙන්ම මගේ යහලුවා තුනුරුවන් පහළවූ බව නොදනියි යමි. ඔහුට දශබලයන්වහන්සේගේ වර්‍ණණාවද කියමි. අවබෝධ කළ ධර්‍මයද සැලකරමි’යි තමන්ගේ පිරිස සමඟ රජගහනුවරට උඩ අහසින් ඔහුගේ සමීපයට ගියේය.
හේමවත තෙමේද යොදුන් තුන්දහසක් ඇති හිමවත අකල්මල් පිපී තිබෙනු දැක මගේ යහළු සාතාගිර සමඟ හිමව්කෙළි කෙළින්නෙමැයි තමන්ගේ පිරිස සමඟ රජගහ නුවර මත්තෙන්ම ගියේය. ඒ දෙදෙනාගේම අග්‍රබලකායෝ කුරරඝරිකවු කාලි උවැසියගේ නිවෙස මත්තෙහි ඒක රැස්ව ‘නුඹලා කාගේ පුරුෂයෝද? අපි සාතාගාරිගේය, නුඹලා කාගේ පුරුෂයෝද? අපි හේමවතගේයයි කිවාහුය. ඔවුහු තුටුපහටුව ගොස් යක්සෙන්පතියන්ට දැන්වූහ. ඔවුහු එකෙණෙහිම උපාසිකාවගේ ගෙය මත්තෙහි එකට මුණගැසුණාහ. සාතාගිර, ‘යහළුව ඔබ කොහි යන්නෙහිදැයි හේමවතගෙන් ඇසීය. ‘යහළුව ඔබගේ සමීපයටයි.’ ‘කුමක් නිසාද?’ ‘මල්පිපුණු හිමවත දැක ඔබ සමග එහි කෙළින්නෙමැයි යන අදහසිනි.’ ‘යහළුව ඔබ කොහි යන්නෙහිද?’ ‘යහළුව සමීපයටය.’ ‘නුඹ කවර කරුණක නිසා හිමවත මල් පිපුණු බව දන්නෙහිද?’ ‘නොදනිමි යහළුව,’ ‘සුදොවුන් මහ රජුගේ පුත් සිදුහත් කුමර තෙමේ දසසහස්සී ලොකධාතුව කම්පා කරවා අවබෝධ කළ සර්‍වඥතාඥාන ඇත්තේ දසදහසක් සක්වළ දේවතාවුන් මැද උතුම් ධර්‍මචක්‍රය පැවැත්වීය. එය පැවති බව නොදන්නෙහිද?’ ‘යහළුව නොදනිමි’ ‘නුඹ මෙපමණක්වූ කරුණින්ම මල් පිපිණැයි දනුව. ඒ පුරුෂයාට සත්කාර සඳහා අද සියලු දසදහසක් සක්වළ එකම මල් ගුලාවක් විය.’ ‘මල් පිපේවා! නුඹවිසින් ඒ ශාස්තෘන්වරයා ඇස් පුරා දන්නා ලද්දේද?’ ‘යහළු හේමවතය, එසේය, මවිසින් දක්නා ලද්දේය. ධර්‍මයද අසන ලද්දේය. අමෘතයද බොනලදී. මම මේ අමාදහම ඔබටද දන්වන්නෙමැයි යහළුව ඔබ සමීපයට එළැමියේ වෙමි’ ඔවුන් දෙදෙනා ඔවුනොවුන්ට කථා කරත්දීම උවැසිය සිරියහනින් නැඟිට ඒ කථා සල්ලාපය අසා ශබ්දයෙහි නිමිති ගත්තාය. මේ ශබ්දය උඩය, යට නොවේ. අමනුෂ්‍යභාෂිතයෙකි. මනුෂ්‍යභාෂිතයක් නොවේ’යි සලකා යොමු කළ කන් ඇතිව දැඩි කරගත් සිතින් යුතුව හුන්නීය. ඉනික්බිති -
“අද පසළොස්වක් පෙහෙවසයි (මෙසේ සාතාගිර යක්‍ෂ තෙමේ කීය) දිව්‍යමය රාත්‍රිය එළඹුණේය. ඒකාන්තයෙන්ම ලාමක නොවූ නමක් ඇති ගෞතම ශාස්තෘන්වහන්සේ දකිමු”
මෙසේ සාතාගිර විසින් කීකල්හි,
කිමෙක්ද? සිත මනාව පිහිටුවන ලද්දේද? (මෙසේ හේමවත යක්‍ෂ තෙමේ ඇසීය)
සියලු භූතයන් කෙරෙහි නොසැලෙන ගුණයෙන් යුක්තවීද?
කිමෙක්ද ඉෂ්ටානිෂ්ට දෙය පිළිබඳ සංකල්පයන් වසඟ කළ සේක්ද?
මෙසේ හෙමවත යක්‍ෂතෙමේ ශාස්තෘන්වහන්සේගේ කායසමාචාරයද ආජීවයද මනොසමාචාරයද විමසුවේය. ඇසූ ඇසූ දෙය සාතාගිර තෙමේ විසඳුවේය. මෙසේ ශාස්තාන්වහන්සේගේ ශරීරවර්‍ණනගුණවර්‍ණන කථන වශයෙන් හේමවත සූත්‍රය නිමි කල්හි හේමවත තෙමේ යහළුවාගේ ධර්‍මදේශනානුසාරයෙන් ඥානය මෙහෙයවා සෝවාන් පෙලෙහි පිහිටියේය.