සීවලී තෙරණුවෝ
නවවෙනිවර්ගයෙහි, ලාභීනං යදිදං සීවලී යනු තථාගතයන්වහන්සේ හැර ලාභී භික්ෂූන්වහන්සේ අතුරින් සීවලී තෙරුන්වහන්සේ අග්‍රයහයි දක්වයි. උන්වහන්සේගේ ප්‍රශ්න කර්මයෙහි මේ පිළිවෙළ කථාවයි.මෙතෙමේත් පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි පෙර කියනලද ක්‍රමයෙන්ම විහාරයට ගොස් පිරිස් කෙළවරෙහි සිටියේ දහම් අසමින් එක් භික්ෂුවක ලාභීන් අතුරින් අගතනතුරෙහි තබන්නාවූ බුදුන්වහන්සේ දැක මාද අනාගතයෙහි මෙවැන්නෙකුවීම සුදුසුයයි බුදුන්වහන්සේට නිමන්ත්‍රණය කොට පෙර අයුරින්ම සත් දිනක් මහදන් දී ‘භාග්‍යවතුන්වහන්ස. මම මේ පින්කමින් අන්සැපතක් නොපතමි. අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි මමද නුඹවහන්සේ විසින් ඒතදග්‍රස්ථානයෙහි තබනලද ඒ භික්ෂුව මෙන් ලාභීන් අතුරින් අග්‍ර වන්නෙමියි ප්‍රාර්‍ත්‍ථනා කළේය. ශාස්තෘන්වහන්සේ අනතුරක් නොදැක නුඹගේ මේ ප්‍රාර්‍ත්‍ථනා අනාගතයෙහි ගෞතම බුදුන්ගේ සසුනෙහි ඉටුවන්නේය’යි විවරණදී වැඩිසේක.
ඒ කුලපුත් තෙමේත් දිවිහිමියෙන් කුසල්කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ විපස්සී බුදුන්වහන්සේගේ කාලයෙහි බන්ධුමතී නගරයෙන් නුදුරෙහි එක් ගමක පිළිසිඳ ගත්තේය. එසමයෙහි බන්ධුමතී නුවර වැස්සෝ රජු සමඟ සාකච්ඡාකොට බුදුන්වහන්සේට දන්දෙකි. ඔවුහු එක්දිනක් සියල්ලන්ම එක්ව බුදුන්වහන්සේට දන්දෙන්නෝ කුමක් නම් අපගේ දානමුඛයෙහි නැද්දැයි (විමසන්නාහු) මීද මිදවූ දීද නොදුටූහ. ඔවුහු කොයි දෙසකින් හෝ ගෙනෙන්නෙමුයි ජනපදයෙන් නුවරට පිවිසෙන මාර්ගයෙහි පුරුෂයෙකු තැබුවාහුය. එකල්හි මේ කුලපුතුත් තෙමේ තමන්ගේ ගමෙන් මිදවූ දී භාජනයක් ගෙන යම්කිසිවක් ගෙනෙන්නෙමැයි නුවරට යන්නේ මුව දොවා දොවන ලද අත්පා ඇත්තේ පිවිසෙන්නෙමැයි පහසු තැනක් බලන්නේන නඟුල් හිසක් පමණවූ මැස්සන් නැති දඬු මීයක් දැක මගේ පිනෙන් මෙය උපනැයි එය ගෙන නුවරට පිවිසෙයි. නුවරුන් විසින් තබලනලද පුරුෂයා එයි දැ, ‘පින්වත් පුරුෂය, කවරකුට මෙය ගෙන යන්නෙහිදැ’යි ඇසීය. ‘ස්වාමීනි, කිසිවකුට නොවේ. විකිණීමට මෙය මවිසින් ගෙනඑනලදැ’යි කීය. ‘එසේ වීනම් පින්වත මේ කහවණුව ගෙන මේ මීත් මිදුවුදීත් දෙව’යි කීය.
මෙය බොහෝ වටිනා එකක් නොවේ. මෙතෙමේත් එක් විටම බොහෝ මිලක් දෙයි. (එබැවින්) විමසීමට වටීය’යි හෙතෙම සිතීය. ඉක්බිති ‘මම මෙය එක් කහවණුවකට නොදෙමි’යි කීවේය. ‘එසේ නම් කහවණු දෙකක් ගෙනදෙව.’ ‘දෙකකටද නොදෙමි.’ මේ නයින් මිළ වැඩි කරමින් කහවණු දහසකට පැමිණියේය. හෙතෙම, ‘වඩා (මිළක් දක්වා) ඇදගෙන යාම නොසුදුසුය. මෙයින් කළ යුතු කාර්ය්යය විමසන්නෙමැ’යි සීතිය. ඉක්බිති ඔහුට කීය: ‘මෙය බොහෝ අගනා එකක් නොවේ. නුඹද බොහෝ දෙන්නෙහිය. කුමන වැඩක් සඳහා මෙය ගන්නෙහිද?’ ‘පින්වත මෙහි නගරවැසියෝ රජු සමඟ පිළිමල්ව විපස්සි බුදුරජාණන්වහන්සේට දන් දෙන්නාහු මේ දෙක දානමුඛයෙහි නොදක්නාහු සොයත්, ඉදින් මේ දෙක නොලබත් නම් නුවරුන්ට පරාජය වෙයි. එබැවින් දහසක්දී ගනිමි’ ‘කිමෙක්ද මෙය නුවරුන්ට පමණක්ම වටීද? අනෙකෙකුට දීමට නොවටීද? යම් කිසිවකුට දීමට වළහන ලද්දේ නොවෙයි (සිතා) ‘නුවරුන්ගේ දන්දීමෙහි එක් දිනක දහසක් දෙන්නෙක් ඇත්දැයි විමසීය. ‘නැත යහළුව.’ ‘මේ දෙක දහසක් වටින බව දන්නෙහිද?’ ‘එසේය දනිමි.’ එසේනම් යව, එක් පුරුෂයෙක් මේ දෙක මිලට නොදෙයි. සියතින්මදෙනු කැමැත්තේය. මේ දෙක ගැන නිසැක වෙව’යි නුවරුන්ට කියව. නුඹ වනාහි මාගේ මේ දානමුඛයෙහි දෙටු බවට කාය සාක්ෂ්‍ය වෙව’යි කීවේය.
ඒ ගම්වැසි තෙමේ වියදම සඳහා ගන්නාලද මාසකයෙන් පංචකටුකයගෙන සුණු කොට දීවලින් කැඳපෙරා එහි මීපටලය මිරිකා පංචකටුක සුණෙන් යොදා එක් නෙලුම් පතෙක බහා පිළියෙළ කොට ගෙන දශබලයන්වහන්සේට නුදුරු තැනෙක්හි මහජනයා විසින් ගෙනෙනු ලබන සත්කාරයන් අතුරෙහි තමන්ගේ අත්වර බලමින් හුන්නේය. හෙතෙම අවකාශය දැන ශාස්තෘන් සමීපයට ගොස්. ‘භාග්‍යවතුන්වහන්ස, මේ මාගේ දුප්පත් පඬුරය. මෙය මට අනුකම්පාවෙන් පිළිගනු මැනව’යි පැවසීය. ශාස්තෘන්වහන්සේ ඔහුට අනුකම්පා උපදවා චාතම්මහාරාජික දෙවිවරුන් විසින් දෙනලද ශෛලමය පාත්‍රයෙන් එය පිළිගෙන අටසැට ලක්ෂයක් භික්ෂූන්ට දෙන ලද්ද යම්සේ නොනිමෙයිද එසේ අදිටන් කළසේක. ඒ කුලපුත් තෙමේත් බත්කිස නිමවූ භාග්‍යවතුන්වහන්සේ වැඳ එකත් පසෙක සිටියේ මෙසේකීය. ‘භාග්‍යවතුන්වහන්ස, අද බන්ධුමතී නගරවැසියන් විසින් නුඹවහන්සේට ගෙන එන ලබන සත්කාරය දක්නාලදී. මමද මේ කර්මයාගේ විපාකයෙන් උපනුපන් භවයෙක්හි ලාභයෙන් හා යසසින් අග්‍රප්‍රාප්ත වන්නෙමි’. ශාස්තෘන්වහන්සේ ‘කුලප්රත්රය, එසේ වේවා’යි පවසා ඔහුටද නුවර වැස්සන්ටද භූත්තානුමෝදනාවකොට පිටත්ව ගියසේක.