දෙවෙනි වර්‍ගය
චුල්ලපනථෙක මහාපන්‍ථක තෙරවරු
දෙවෙනි වර්‍ගයෙහි පළමුසූත්‍රයෙහි, මනොමයං යනු මනසින් උපදවනලද යනුයි. ‘මනොමයෙන කායෙන ඉදධියා උපසඞ්කමි’ යි කියනලද තන්හි වනාහි මනසින් කරනලද කය (ශරීරය) මනොමයකාය නම් වුයේයි. ‘අඤ්ඤතරං මනොමයං කායං උප්පජ්ජති’යි කියනලද තන්හි මනසින් උපදවන කය මනොමයකාය නම්වූයේයි. මෙය මෙහි අදහස් කරනලදී. එහි අන්‍ය භික්‍ෂූහු මනොමයකාය උපදවන්නාහු තුනක් හෝ සතරක් හෝ උපදවත්. එකාකාරවූම කර්‍මයක් කරනු ලබන්නාවූ බොහෝ කායයන් එක සමාන කොටම නූපදවති. චුල්ලපන්‍ථක තෙරුන්වහන්සේ වනාහි එක් ආවර්ජනයකින් දහසක් මහණුන් මැවූහ. ඒකාකාර කර්‍මයක් කරනුලබන්නාවූද එකසමානවූද දෙදෙනකු නොකළහ. එහෙයින් මනෝමයකාය නිර්‍මාණය කරන්නවුන් අතුරෙන් අග්‍රනම් වූහ.
චෙතො විවර්‍තදක්‍ෂතාවෙන් යුක්තවූවන් අතුරෙන්ද චුල්ලපන්‍ථක තෙරණුවෝම අග්‍රවෙති. සංඥාවිවර්‍ත දක්‍ෂතාවෙන් යුක්තවූවන් අතුරෙන් මහාපන්‍ථක තෙරණුවෝ අග්‍රයයි කියනලද්දාහුය. එහි චුල්ලපන්‍ථක තෙරුන්වහන්සේ සතර රූපාවචරධ්‍යානයන් ලබා ඇති බැවින් චෙතොවිවට්ටකුසලයයි කියනලද්දාහුය. මහාපන්‍ථකතෙරුන්වහන්සේ සතර අරූපාවචරධ්‍යානයන් ලබා ඇති බැවින් සඤ්ඤාවිවට්ට කුසලයයි කියනලද්දාහුය. චුල්ලපන්‍ථක තෙරණුවෝම සමාධි දක්‍ෂතාවෙන් චෙතොවිවට්ටකුසල නම් වෙත්. මහාපන්‍ථක තෙරණුවෝ විදර්‍ශනාදක්‍ෂාවෙන් සඤ්ඤාවිවට්ටකුසල නම්වෙත්. මෙහි එක් කෙනෙක් සමාධිලක්‍ෂණයෙහි දක්‍ෂයෙකි. එක්කෙනෙක් විදර්‍ශනා ලක්‍ෂණයෙහි සර්‍ත්‍ථයෙකි. එක්කෙනෙක් අරමුණු හකුළුවා දැක්වීමෙහි දක්‍ෂයෙකි. එක්කෙනෙක් අංග විශ්ලේෂණය කිරීමෙහි දක්‍ෂයෙකි. එක්කෙනෙක් ආරම්මණ විශ්ලේෂණයෙහි දක්‍ෂයෙකියි මෙසේ මෙහි යෝජනා කටයුතු.
තවද චුලපන්‍ථක තෙරණුවෝ රූපාවචරධ්‍යානලාභීවී ධ්‍යානාංගයන්ගෙන් නැඟිට රහත්බවට පැමිණියහයි චෙතොවිවට්ටකුසලයහ. මහාපන්‍ථක තෙරණුවෝ අරූපාවචරධ්‍යානලාභීවී ධ්‍යානාංගයන්ගෙන් නැඟිට රහත්බවට පැමිණියහයි සඤ්ඤාවිවට්ටකුසලයහ. දෙදෙනාම මාර්‍ගයෙහි උපන් බැවින් පන්‍ථක නම් වූවාහුය. ඔවුන් අතුරෙන් පළමුව උපන්නේ මහාපන්‍ථක නමි. පසුව උපන්නේ චූලපන්‍ථක නමි.
මේ දෙදෙනාගේම ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි: අතීතයෙහි පදුමුත්තර බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි හංසවතී නගරවැසිවූ දෙබෑ කෙළෙඹිකෙනෙක් ශ්‍රද්ධාවෙන් පැහැදුනෝ නිබඳ ශාස්තෘන් හමුවට ගොස් ධර්‍මය අසත්. එක්දිනක් ඒ දෙදෙනා අතුරෙන් කනිටුබෑයා අංගදෙකකින් යුත් එක් භික්‍ෂුවක ‘මගේ සසුනෙහි මනොමයකාය නිර්‍මාණය කරන්නවුන් අතුරෙන්ද චෙතො විවර්‍තනයෙහි දක්‍ෂයන් අතුරෙන්ද මේ භික්‍ෂුව අග්‍රයයි එතදග්‍රස්ථානයෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක මෙසේ සිතීය. ‘ඒකාන්තයෙන්ම මේ භික්‍ෂුව ශ්‍රේෂ්ඨයෙකි. එක්කෙනෙක්ම අංග දෙකක් සම්පූර්‍ණකොට හැසිරෙයි. මාවිසින්ද අනාගතයෙහි එක්බුදුකෙනෙකුන්ගේ සසුනෙහි අංගදෙකක් පුරන්නකු වී හැසිරීමට වටීය.’ යනුවෙනි. හෙතෙම පළමු ක්‍රමයෙන්ම ශාස්තාන් ආරාධනාකොට සත්දිනක් මහදන්දී මෙසේ කීවේය: ‘ස්වාමීනි, මෙයින් සත්දිනකයට මත්තෙහි නුඹවහන්සේ යම් භික්‍ෂුවක, මනොමය අංගයෙන්ද චෙතොවිවට්ට කුසලඅංගයෙන්ද මෙතෙම මගේ සසුනෙහි අග්‍රයයි ඒකදග්‍රස්ථානයෙහි තැබුවාහුද මමද මේ පුණ්‍යකර්‍මයාගේ විපාකයෙන් ඒ භික්‍ෂුව මෙන් අංග දෙක සපුරන්නෙක් වෙම්වායි ප්‍රාර්‍ත්‍ථනා කළේය.
ශාස්තෘන්වහන්සේ අනාගතය බලා අනතුරකින් තොරව ඔහුගේ ප්‍රාර්ථනාව ඉටුවනබව දැන ‘අනාගතයෙහි කල්පලක්‍ෂයක අවසානයෙහි ගොතමනම් බුදුකෙනෙක් උපදින්නාහ. උන්වහන්සේ මොහු මේ තනතරු දෙකෙහි තබන්නාහ’යි ව්‍යාකරණය කොට අනුමෙවෙනිකොට වැඩමකළසේක. ඔහුගේ සහෝදරයාද එක්දිනක් සංඥාවිවර්‍තනයෙහි දක්‍ෂවූ භික්‍ෂුවක ඒතදග්‍රස්ථානයෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක එසේම පුණ්‍යකර්‍මකෙට ප්‍රාර්‍ත්‍ථනා කළේය. ශාස්තෘන්වහන්සේද ඔහුට විවරණ දුන්සේක.
ඒ දෙදෙනාම ශාස්තෘන්වහන්සේගේ ජීවමාන කාලයෙහි කුසල් කොට ශාස්තෘන් පිරිනිවන් පෑ කල්හි ශරීරචෛත්‍යයෙහි රන් පූජාව කොට එයින් සැවවූවාහු දෙව්ලොව උපන්නාහුය. මොවුන් දෙව්මිනිසුන් අතර සැරිසරද්දීම කල්ප ලක්‍ෂයක් ඉක්මුණේය. එහි මහාපන්‍ථකයන්ගේ අතරතුර කළ පින්කම් නොකියනු ලැබේ. චුල්ලපන්‍ථක වනාහි කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේගේ සසුනෙහි පැවිදිවී අවුරුදු විසිදහසක් ඔදාතකසිණකර්‍මයකොට දෙව්ලොව උපන්නේය. ඉක්බිති අපගේ ශාස්තෘන් වහන්සේ අභිසම්බෝධියට පැමිණ පවත්වනලද උතුම් දම්සක් ඇතිසේක් රජගහනුවර ඇසුරු කොට වෙළුවන මහාවිහාරයෙහි වාසයකරනසේක.
මෙතැන් සිට මේ දෙදෙනොගේම උපත කීමට වටී. රජගහනුවරෙහි ධනවත් සිටුකුලයක දියනියන් තමාගේ දාසයා සමඟ ඇසුරු කොට අන්‍යයෝද මගේ මේ ක්‍රියාව දැනගන්නාහුයයි බියවූවා මෙසේ කීවාය: ‘අපට මෙතැන්හි විසීමට නොහැකිය. ඉදින් මගේ මාපියෝ මේ වරද දැනගන්නාහු නම් මා කඩකඩ කරති. විදේශයකට ගොස් වසන්නෙමු’යි වටිනා ධනය ගෙන ප්‍රධාන දොරටුවෙන් නික්ම අන්‍යයන් විසින් නොදන්නා යම්කිසි තැනකට ගොස් වසන්නෙමු’යි දෙදෙනාම ගියාහුය.
ඒක තැනක වසන්නාවූ ඔවුන්ගේ සංවාසය නිසා ඇයගේ කුසෙහි ගැබක් පිහිටියේය. ඕ ගැබ මුහුකිරීමට පැමිණ ස්වාමියා සමඟ, ‘මගේ ගැබ මුහුකුරා ගියේය. නෑමිතුරන් නැති තැනක දරුප්‍රශූතිය නම් අප දෙදෙනාටම කරදයක්ම වේ. කුලගෙයටම යමු’යි කතා කළාය. හෙතෙම් අද යමු හෙටයමුයි දින ඉක්මෙව්වේය. ඕතොමෝ ‘මේ බාලතෙමේ තමාගේ වරද බලවත් බැවින් යාමට උත්සාහ නොකරයි. මවුපියෝ නම් ඒකානත්යෙන් හිතවත්ය. මෙතෙමේ ගියා හෝ නොගියා හෝ වේවා. මා යාමට වටීයයි සිතුවාය. ඔහු ගෙයින් පිටත්ව ගිය කල්හි ඕතොමෝ ගෙහි බඩු එකලස් කොට තමාගේ කුලගෙයට ගියබව ඊලඟ ගෙහි වැසියන්ට සැළකොට මගට පිළිපන්නීය.