කොළිවිස සොණ තෙරණුවෝ
සත්වෙනි වර්ගයෙහි ආරද්ධවිරියානං යනු දැඩිවගත් වීර්ය්ය ඇත්තවුන්, පිරිපුන් විර්ය්ය ඇත්තවුන් අතුරෙන්ය. සොණො කොළිවිසො යන්නෙහි සොණො යන ඔහුගේ නමයි. කොළිවිසො යනු ගොත්රයයි. (ධනයෙන්) කෙළ පැමිණි වෛශ්යයෙකි යනු හෝ අර්ත්ථයි. ඓශ්වර්යයෙන් කෙළ පැමිණි වෛශ්ය කුලයෙහි දරුවෙක් යන අදහසයි. යම්හෙයකින් වනාහි අනෙක් භික්ෂූන්ගේ වීර්ය නම් වැඩිය යුත්තේ වෙයි. තෙරුන්ගේ නම් අඩුකළ යුත්තේ විය. එහෙයින් මෙතෙම පටන්ගත් වීර්ය්ය ඇත්තවුන් අතුරෙන් අග්ර නම්විය.
ඔහුගේ ප්රශ්නකර්මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙම වනාහි අතීතයෙහි පියුමුතුරා බුදුන් කල සිටු කුලයෙක්හි උපන්නේය. ඔහුට සිරිවඩ්ඨ කුමරුයයි නම් කළහ. හෙතෙම වියපත්වූයේ පෙර පරිද්දෙන්ම විහිරයට ගොස් පිරිස් කෙළවර සිටියේ දහම් අසමින් එක් භික්ෂුවක පටන්ගත් වීර්ය්ය ඇත්තවුන් අතුරෙන් අග්රස්ථානයෙහි තබන්නාවූ බුදුන්වහන්සේ දැක මාද අනාගතයෙහි මෙබන්දෙකු වීම වටීයයි දෙසුම අවසන්හි බුදුන්වහන්සේට අරයුම් කොට සත් දිනක් මහදන් දී කියනලද ක්රමයෙන්ම ප්රාර්ත්ථනා කළේය. ශාස්තෘන්වහන්සේ ඔහුගේ පැතුම ඉටුවනබව දැන පෙර අයුරින්ම විවරණදී විහාරයට වැඩිසේක.
ඒ සිරිවඩ්ඪ සිටුතෙමේද දිවි ඇති තෙක් කුසල්කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ කල්පලක්ෂයක් ගෙවා මෙකප කාශ්යප බුදුන්වහන්සේ පිරිනිවන් පෑකල්හි අපගේ භාගයවතුන්වහන්සේ නුපන්කල්හි බරණැස කුලගෙයක පිළිසිඳ ගත්තේය. හෙතෙම තමන්ගේ යහළුවන් සමඟ ගඟෙහි සෙල්ලම් කරයි. ඉක්බිති එකල්හි එක් දිරුණු සිවුරු ඇති පසේබුදු කෙනෙක් බරණැස ඇසුරු කොට ගංතෙරෙහි පන්සලක්කොට වස් එළඹෙන්නෙමැයි දියෙන් ගසාගෙන යන දඬු ද වැල්ද අදිති. මේ කුමර තෙමේ යහළුවන් සමඟ ගොස් නමැද සිටියේ ‘ස්වාමීනි, කුමක් කරන්නහුදැයි විමසීය. ‘කුමාරය, සමීපයෙහි ඇතුළුවස පැවිදිවූවන්ට වස්විසීමට තැනක් ලැබීමට වටීයයි පැවසූහ.’ ‘ස්වාමීනි. අද එක් දිනක් ආර්ය්යයන්වහන්සේ යම් යම් පරිද්දෙකින් පැමිණෙත්වා, මම හෙට ආර්ය්යයන් වහන්සේට විසීමට තැනක් කරන්නෙමි’යි කීය. පසේබුදුන් වහන්සේ ඒ කුමරුටම සංග්රහයක් කරන්නෙමියි පැමිනි බැවින් (ඔහුගේ ඉල්ලීම) ඉවසූසේක. හෙතෙම උන්වහන්සේගේ පිළිගැනීම දැන ඉවත්ව ගියේ දෙවෙනි දිනයෙහි සත්කාර සම්මාන පිළියෙළ කොට පසේබුදුන්වහන්සේගේ පැමිණීම බලපොරොත්තවෙමින් සිටියේය. පසේ බුදුන්වහන්සේද අද කවර තැනකින් හික්ෂාචාරයක් ලබන්නේදැයි සිහිකොට දැන ඔහුගේම ගෙදොරට වැඩිසේක.
කුමරුවා පසේබුදුන් දැක සතුටින් පිළිගනිමින් පාත්රය රැගෙන හික්ෂාවාදී ‘මේ ඇතුළුමස මගේ ගෙදොරටම වඩිනු මැනවි ස්වාමීනි’යි පිළිණ ගෙන පසේ බුදුන් වහන්සේ බත් කිස කොට වැඩිකල්හි තමන්ගේ යහළුවන් සමඟ එක් දිනකින්ම පසේබුදුන්වහන්සේට විසීමට පන්ලක්ද සක්මන් දිවාස්ථාන රාත්රිස්ථානයන්ද කරවා දුන්නේය. උන්වහන්සේ පන්සලට පිවිසෙන වේලාවෙහි තණපැතුරුණු බිමෙහි පාදයන්හි මඩ නොගැලේවායි තමන්ගේ ලක්ෂයක් වටනා පොරෝණයවූ රත් කම්බිලිය බුමුතුරණක් කොට අතුරා කම්බිලියෙහි පැහැය සමඟ පසේබුදුන් වහන්සේගේ සිරුරුපැහැය එක් සමානබව දැක අතිශයින් පැහැදුනේවි, ‘යම්සේ නුඹවහන්සේ විසින් පෑගූ කාලයෙහි පටන් මේ කම්බිලියේ පැහැය බෙහෙවින් බබළයිද එසේම මගේද උපනුපන් තන්හි අත්පාවල පැහැය බෙහෙවින් බබළයිද එසේම මගේද උපනුපන් තන්හි අත්පාවල පැහැය බදුවදමල් පැහැය වේවා? සියවරක් පෙළූ කපුපුළුනක ස්පර්ශය බඳු ස්පර්ශය වේවායි කීය. හෙතෙම තෙමසක් පසේබුදුන් වහන්සේට උපස්ථාන කොට (වස්) පැවරූ කල්හි තුන්සිවුරු දුන්නේය. පසේබුදුන්වහන්සේ පිරිපුන් පාසිවුරු ඇත්තේ ගන්ධමාදනයටම වැඩිසේක.
ඒ කුලපුත් තෙමේද දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ අපගේ භාග්යවතුන්වහන්සේගේ කාලයෙහි කාලචම්පා නුවර උසභසිටුගේ කුලයෙහි පිළිසිඳ ගත්තේය. ඔහු පිළිසිඳගත් කෙණෙහි සිට සිටු කුලයට නොයෙක් දහස් ගණන් පඬුරු පැමිණෙයි. උපන්දිනෙහි සියලු නුවර එකම සත්කාර සම්මානයක් වූයේය. ඉක්බිති ඔහුට නම් ගන්වන දිනයෙහි මවුපියෝ අපගේ පුතා තමන්ගේ නම රැගෙනම ආයේ රත්රන්රසයෙන් ඉසින ලද්දාක් මෙන් මොහුගේ සිරුරුසිවියයි සලකා සොණ කුමරුයයි නම් කළාහුය.
ඉක්බිති ඔහුට කිරිමව්වරුන් සැටක් එළවා දෙවිකුමරකු මෙන් සුවෙන් වැඩුවාහුය. ඔහුට මෙබඳුවූ ආහාරවිධානයක් විය. කිරිය (කරිස) සැටක් පමණවූ තැනක් වපුරා ත්රිවිධවූ ජලයකින් පොෂණය කරත්. කෙතෙහි පිවිසෙන්නාවූ ජලමාර්ගයන්හි කිරිදියද සුවඳද සුවඳදියද සැලිදහස් ගණන් හෙලත්. ඇල්වී කිරිවදින කල්හි ගිරා ආදී ප්රාණීන්ගේ ඉඳුල් කිරීම වැලැක්වීම සඳහාත් වී ගැබේ සියුමැලි බව සඳහාත් කෙළවර සීමාවැටෙහිද අතරතුරද කණු සිටුවා මත්තෙහි දඬුතබා කලාලවලින් වසා හාත්පසින් තිර වටකොට සියල්ලට පසුව රැකවල් ගනිත්. ශශ්ය නිපන් කල්හි ගබඩාවෙහි සිවුදෑ සුවඳින් පිරිඬ ගන්වා මත්තෙහි උතුම් සුවඳ මුසු කරත්. නොයෙක් දහස් ගණන් මිනිස්සු කෙතට බැස ඇල්හිස් නටුවෙන් සිඳ මිටි මටි කොට රැහැනින් බැඳ වියලවත් ඉක්බිති ගබඩාවෙහි යටම මහලෙහි සුවඳ අතුරුවා මත්තෙහි ඇල්වී කරල් අතුරුවත්. මෙසේ එකක් හැර එකක් කොට අතුරන්නාහු ගබඩාව පුරවා දොර වසත්. තෙවසක් පැමිණිකල්හි ගබඩාව හරත්. ඇරුණුකල්හි සියලු නුවර සුවඳින් සුවඳවත් වෙයි. ඇල් කෙටුවිට ධූර්තයෝ දහයියා විකුණා ගනිත්. සහල් ඇගිටි සුළුසේවකයෝ ලබා ගනිත්. සහල් කොටන කල්හි ඇල් සහල් තෝරා බේරා ගනිත්. ඒවා රන්තීරු ඇති පසුම්බියක බහා සියවරක් පෙරා ගත් කල්හි කකාරවන ලද ද පිඬු රසෙහි එක්වරක් බහා උඩට ගනිත්, රසයෙන් හැලුණු හැලුණු තැන සමන් මල් මෙන් වෙයි. ඒ භෝජනය රන් තලියෙහි බහා පැසවූ දිය අඩු මී පායාසයෙන් පිරවූ රිදී තලියට මත්තෙහි තබා ගෙන ගොස් සිටු පුත්රයාගේ ඉදිරියෙහි තබත්.