කඞ්ඛාරෙවත තෙරණුවෝ
සයවැන්නෙහි ක්‍ධායිනං යනු ධ්‍යාන ශීලින්, ධයානයෙහි සිත්ඇල්වූවන් අතුරෙන්ය. ඒ තෙරුන් වහන්සේ වනාහි, තථාගතයන් වහන්සේ යම් සමාපත්තීන්ට සමවදින සේක්ද එයින් කිහිපයක් හැරෙන්නට බොහෝ සමාපත්තීන්ට සමවදිති. එහෙයින් ධ්‍යානීන්ගෙන් අග්‍ර නම් විය. සැකකරන බැවින් කංඛාරෙවතයයි කියනු ලැබේ. කංඛා යනු කුකුසයි. කුකුස් කරන්නේය යන අර්‍ත්‍ථයි. කිමෙක්ද වෙනත් කුකුස් කරන්නෝ නැත්ද! ඇති මේ තෙරුන් වහන්සේ වනාහි කැප වස්තුවෙහිද කුකුස් උපදවති. එබැවින් උන්වහන්සේගේ කුකුස් කිරීම බෙහෙවින් ප්‍රකට වූයේයයි කංඛා රෙවතයැයි ප්‍රසිද්ධියට ගියේය.
උන්වහන්සේගේ ප්‍රශ්නකර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙම වනාහි පියුමුතුරා බුදුන් වහන්සේගේ කාලයෙහි පෙර පරිද්දෙන්ම මහජනයා සමඟ විහාරයට ගොස් පිරිස් කෙළවර සිටියේ දහම් අසමින් ශාස්තෘන්වහන්සේ එක්භික්‍ෂුව ධ්‍යානයෙහි සිත් ඇලුණවුන් අතුරෙන් අග තනතුරෙහි තබනු දැක මාද අනාගතයෙහි මෙවැන්නකු වීමට වටීයයි දෙසුම් අවසන්හි ශාස්තෘන්වහන්සේට අරයුම් කොට පෙර පරිද්දෙන්ම සත් දිනක් මහ් සත්කාර කොට භාග්‍යවතුන් වහන්සේට, ‘ස්වාමීනි, මම මේ පුණ්‍යකර්‍මයෙන් වෙනත් සැපතක් නොපතමි. යම්සේ නුඹවහන්සේ විසින් මෙයින් සත්දිනකට මත්තෙහි ඒ භික්‍ෂුව ධ්‍යානීන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබන ලද්දේද එසේම මම ද අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි ධ්‍යානීන්ට අග්‍රවන්නෙම්වායි ප්‍රාර්‍ත්‍ථනා කළේය. ශාස්තෘන්වහන්සේ අනාගාතය බලා පැතුම ඉටුවන බව දැන අනාගතයෙහි කල්ප ලක්‍ෂයක ඇවෑමෙන් ගොතම නම් බුදුන්වහන්සේ උපදින සේක. උන්වහන්සේගේ සසුනෙහි නුඹ ධ්‍යානීන්ට අග්‍ර වන්නෙහියයි විවරණදී වැඩි සේක.
හෙතෙම දිවි ඇති තෙක් පින්කම් කොට කල්ප ලක්‍ෂයක් දෙවිමිනුසුන් අතුරෙහි සැරිසරා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සැවැත් නුවර මහධනකුලයක උපන්නේ පසුබතෙහි දහම් ඇසීම සඳහා යන්නාවූ මහජනයා සමඟ විහාරයට ගොස් පිරිස් කෙළවර සිටියේ දශබලයන් වහන්සේගේ ධර්‍මකථාව අසා සැදැහැ ඉපිදී පැවිදිවූයේය. පැවිදි වුයේ උපසම්පදාව ලැබ කමටහන් කියවාගෙන ධ්‍යාන පරිකර්‍ම කරන්නේ ධයානලාභියෙක් වී ධ්‍යානයම පාදක කොට ගෙන රහත්පලයට පැමිණියේය. හෙතෙම බුදුන්වහන්සේ විසින් සමවැදියහැකි සමාපත්තීන්ගෙන් අඩුප්‍රමාණයක් අත්හැර බොහේ සමාපත්තීනට සමවදින්නේ දිවාරැයෙහි ධ්‍යානයන්හි පුරුදු කරලද වසඟ බව ඇත්තේවිය. මෑතකාලයක භාග්‍යවතුන් වහන්සේ මේ ගුණ සලකා මොහු ධ්‍යානීන් අතුරෙන් අග තැන්හි තැබූසේක. ඇවැත්නි, සකුරු අකැපය. මුං අකැපයයි මෙසේ කැප වස්තූන්හිද කුකුස් උපදවන ලද බැවින් ඒ කුකුස් සංඛ්‍යාතවූ සැකබව නිසා කංඛාරෙවතයයි ප්‍රසිද්ධියට පත් වූයේය.
කොළිවිස සොණ තෙරණුවෝ
සත්වෙනි වර්ගයෙහි ආරද්ධවිරියානං යනු දැඩිවගත් වීර්‍ය්‍ය ඇත්තවුන්, පිරිපුන් විර්‍ය්‍ය ඇත්තවුන් අතුරෙන්ය. සොණො කොළිවිසො යන්නෙහි සොණො යන ඔහුගේ නමයි. කොළිවිසො යනු ගොත්‍රයයි. (ධනයෙන්) කෙළ පැමිණි වෛශ්‍යයෙකි යනු හෝ අර්‍ත්‍ථයි. ඓශ්වර්‍යයෙන් කෙළ පැමිණි වෛශ්‍ය කුලයෙහි දරුවෙක් යන අදහසයි. යම්හෙයකින් වනාහි අනෙක් භික්‍ෂූන්ගේ වීර්ය නම් වැඩිය යුත්තේ වෙයි. තෙරුන්ගේ නම් අඩුකළ යුත්තේ විය. එහෙයින් මෙතෙම පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තවුන් අතුරෙන් අග්‍ර නම්විය.
ඔහුගේ ප්‍රශ්නකර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙම වනාහි අතීතයෙහි පියුමුතුරා බුදුන් කල සිටු කුලයෙක්හි උපන්නේය. ඔහුට සිරිවඩ්ඨ කුමරුයයි නම් කළහ. හෙතෙම වියපත්වූයේ පෙර පරිද්දෙන්ම විහිරයට ගොස් පිරිස් කෙළවර සිටියේ දහම් අසමින් එක් භික්‍ෂුවක පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තවුන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබන්නාවූ බුදුන්වහන්සේ දැක මාද අනාගතයෙහි මෙබන්දෙකු වීම වටීයයි දෙසුම අවසන්හි බුදුන්වහන්සේට අරයුම් කොට සත් දිනක් මහදන් දී කියනලද ක්‍රමයෙන්ම ප්‍රාර්‍ත්‍ථනා කළේය. ශාස්තෘන්වහන්සේ ඔහුගේ පැතුම ඉටුවනබව දැන පෙර අයුරින්ම විවරණදී විහාරයට වැඩිසේක.
ඒ සිරිවඩ්ඪ සිටුතෙමේද දිවි ඇති තෙක් කුසල්කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ කල්පලක්‍ෂයක් ගෙවා මෙකප කාශ්‍යප බුදුන්වහන්සේ පිරිනිවන් පෑකල්හි අපගේ භාගයවතුන්වහන්සේ නුපන්කල්හි බරණැස කුලගෙයක පිළිසිඳ ගත්තේය. හෙතෙම තමන්ගේ යහළුවන් සමඟ ගඟෙහි සෙල්ලම් කරයි. ඉක්බිති එකල්හි එක් දිරුණු සිවුරු ඇති පසේබුදු කෙනෙක් බරණැස ඇසුරු කොට ගංතෙරෙහි පන්සලක්කොට වස් එළඹෙන්නෙමැයි දියෙන් ගසාගෙන යන දඬු ද වැල්ද අදිති. මේ කුමර තෙමේ යහළුවන් සමඟ ගොස් නමැද සිටියේ ‘ස්වාමීනි, කුමක් කරන්නහුදැයි විමසීය. ‘කුමාරය, සමීපයෙහි ඇතුළුවස පැවිදිවූවන්ට වස්විසීමට තැනක් ලැබීමට වටීයයි පැවසූහ.’ ‘ස්වාමීනි. අද එක් දිනක් ආර්‍ය්‍යයන්වහන්සේ යම් යම් පරිද්දෙකින් පැමිණෙත්වා, මම හෙට ආර්‍ය්‍යයන් වහන්සේට විසීමට තැනක් කරන්නෙමි’යි කීය. පසේබුදුන් වහන්සේ ඒ කුමරුටම සංග්‍රහයක් කරන්නෙමියි පැමිනි බැවින් (ඔහුගේ ඉල්ලීම) ඉවසූසේක. හෙතෙම උන්වහන්සේගේ පිළිගැනීම දැන ඉවත්ව ගියේ දෙවෙනි දිනයෙහි සත්කාර සම්මාන පිළියෙළ කොට පසේබුදුන්වහන්සේගේ පැමිණීම බලපොරොත්තවෙමින් සිටියේය. පසේ බුදුන්වහන්සේද අද කවර තැනකින් හික්‍ෂාචාරයක් ලබන්නේදැයි සිහිකොට දැන ඔහුගේම ගෙදොරට වැඩිසේක.