බදිරවනිය රේවත තෙරණුවෝ
පස්වැන්නෙහි ආරඤ්ඤකානං යනු ආරණ්‍යවාසීන්ගෙන් යනුයි. රෙවතො බදිරවනියො යනු දම්සෙනෙවි සැරියුත් තෙරුන්ගේ කනිටු බෑයායි. අරණෙහි වසන අනෙක් තෙරවරු යම්සේ වනයෙහි ගැලපෙන තැන දිය (සඳහා) ගැලපෙන තැන හා පිඬු පිණිස ගැලපෙන තැනද සලකා අරණෙහි වසත්ද මෙතෙම එසේ නොවිසිය. මේ ගැලපෙන තැන් නොසලකා කාන්තාර. ගල් කැබළිති, ගල් පර්‍වත ආදියෙන් විසමවූ බදිරවනයෙහි වෙසෙයි. එහෙයින් ආරණ්‍යකයන් අතුරෙන් අග්‍රයයි කියනලදී.
උන්වහන්සේගේ ප්‍රශ්නකර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙම වනාහි අතීතයෙහි පියුමුතුරා භාග්‍යවතුන්වහන්සේගේ සමයෙහි හංසවතී නගරයෙහි උපන්නේ මහා ගංගාවේ ප්‍රයාග ප්‍රතිෂ්ඨාන තොටුපලෙහි නැව්කම් කරමින් වසයි. එසමයෙහි ශාස්තෘන්වහන්සේ ලක්‍ෂයක් භික්‍ෂූන් පිරිවර ඇතිව චාරිකාවෙහි හැසිරෙනසේක් ප්‍රයාගප්‍රතිෂ්ඨාන තොටුපලට සපැමිණිසේක. හෙතෙම දසබලයන්වහන්සේ දැක මෙසේ සිතුවේය. මට කලින් කලට බුදුන් දැකීමක් නම් නැත. මේ මාගේ පින්කම් රැස්වන මොහොතයයි නැව් එක්කොට තබා බැඳ මත්තෙහි රෙදි වියනක් කරවා සුවඳමල්දම් රැස්කොට එල්වා නියඳවස්ත්‍රයෙන් කරනලද විසිතුරු ඇතිරිලි අතුරුවා පිරිවර සහිත ශාස්තෘන්වහන්සේ එතෙරට පැමිණවීය.
එසමයෙහි ශාස්තෘන්වහන්සේ එක් ආරණ්‍යක භික්‍ෂුවක එතදග්‍රස්ථානයෙහි තැබූසේක. ඒ නැවියා එය දැක මාවිසින්ද මෙසේම අනාගතයෙහි එක් බුදුවරයකුගේ සසුනෙහි ආරණ්‍යක භික්‍ෂූන්ට අග්‍රවීමට වටීයයි සිතා ශාස්තෘන්වහන්සේට නිමන්ත්‍රණය කොට සත්දිනක් මහදන්දී ශාස්තෘ පාදමූලයෙහි වැදහෙව ‘ස්වාමීනි, නුඹවහන්සේ විසින් එතදග්‍රස්ථානයෙහි තැබූ එම භික්‍ෂුව මෙන් මමද අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි ආරණ්‍යක භික්‍ෂූන් අතුරෙන් අග්‍ර වන්නෙමි යයි ප්‍රාර්‍ත්‍ථනා කළේය. ශාස්තෘන්වහන්සේ අනතුරක් නොදැක අනාගතයෙහි ගෞතම බුදුන්ගේ සසුනෙහි නුඹ ආරණයකයන්ට අග්‍ර වන්නෙහියයි විවරණදී වැඩිසේක. අනතුරු වෙනත් කර්‍මයක් නොකියනුලැබේ.
හෙතෙම දිවි ඇතිතෙක් පින්කම්කොට දෙවිමිනිසුන් අතුරෙහි සරිසරන්නේ මේ බුද්ධෝත්පාදයෙහි මගධක්‍ෂේත්‍රයෙහි නාලක බ්‍රාහ්මණග්‍රාමයෙහි සාරී බැමිණියගේ කුසෙහි පිළිසිඳගෙන සොහොයුරන් තිදෙනෙකුගේද සොයුරියන් තිදෙනෙකුගේද යන සියල්ලන්ගේ බාලයාවී උපන්නේය. ඔහුට රේවතයයි නමක් ළාහුය. ඉක්බිති ඔහුගේ මවුපියෝ මෙසේ සිතූහ. අපගේ වැඩුණු වැඩුණු දරුවන් ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ රැගෙන ගොස් පැවිදි කරවත්, අපගේ පුත් රේවත කුඩාවියේදීම සරණබන්‍ධනයෙන් බන්දවන්නෙමුයි සමාන කුලයකින් දැරියක ගෙන්වා රේවතගේ මිත්තණියට වන්දවා දරුව ඔබගේ මිත්තණියට වඩා වැඩිමහල්ලක වෙවයි කීවාහුය. රේවත තෙමේ ඔවුන්ගේ කථාව අසා මෙසේ සිතීය: මේ දැරිය කුඩාවකවූවා ප්‍රථමවයසෙහි පිහිටියාය. මැයගේ මෙබඳුවූ රූපය මගේ මිත්තණියගේ රූපය මෙන් වන්නේය. ඔවුන්ගේ අදහස විමසන්නෙමැයි සිතා නුඹලා කුමක් කියන්නහුදැයි ඇසීය. දරුව, ‘මේ දැරිය නුඹේ මිත්තණිය මෙන් ජරාවට පැමිණේවායි කීවෙමු’යි කීහ. හෙතෙම මැයගේ රූපය එබඳු වන්නේදැයි ඇසීය. දරුව කුමක් කියහිද? මහපින් ඇත්තෝ මෙබඳු වෙත්යයි කීහ.
‘මේ රූපය’ මේ ආකාරයෙන් රැලි නැඟුණු සම් ඇත්තේ පැසුණු හිස ඇත්තේ කැඩුණු දත් ඇත්තේ වන්නේය. මම මෙබඳුවූ රූපයක ඇලීකුමක් කරම්ද? මගේ සොහොයුරන් ගිය මඟම ගන්නෙමි’යි සිතීය. (එසේ සිතා) ගිහිගෙයි සිටින්නේ මෙන්වී සමවියෙහි සිටි තරුණයන්ට ‘යහළුවනි, එන්න. දිවීමේ ක්‍රීඩාව කරන්නෙමු’යි කියා නික්මියේය. ‘දරුව මඟුල් දිනයෙහි පිටත නොයව’යි (මාපියෝ කීහ) හෙතෙම තරුණයින් සමඟ සෙල්ලම් කරන්නෙකු මෙන් තමන් දුවන වාරය පැමිණිවිට ටිකක් ගොස් ප්‍රමාදවී ආපසු එයි. අනතුරුවාරය පැමිණිවිට ඊටවඩා දුරටමෙන් ගොස් ආපසු ආයේ තෙවෙනිවර මේ මාගේ කාලයයි දැන හමුවන තැනින්ම පළාගොස් පාංශුකූලික භික්‍ෂූන්ගේ නිවාසස්ථානයවූ අරණ්‍යයට ගොස් තෙරුන්වැඳ පැවිද්ද ඉල්වීය. ‘සත්පුරුෂය, අපි ඔබ කවරෙකුගේ පුතෙක්දැයි නොදනිමු. ඔබද අබරනින් සැරසුණු අයුරින්ම පැමිණියෙහිය. කවරෙක් නම් ඔබ පැවිදි කිරීමට උත්සාහ කෙරේදැ’යි ඒ තෙරවරු පැවසූහ. හෙතෙම දෙඅත් දැඩිව ගෙන මා පැහැරගනී මා පැහැරගනීයයි මහහ හඬින් හැඬීය. ඔබිනොබින් බික්‍ෂූහු රැස්ව, ‘සත්පුරුෂය, මෙතැන්හි ඔබේ වස්ත්‍රය හෝ අබරණ හෝ ගන්නාවූ කිසිවෙක්නම් නැත. ඔබද නටුවෙමැයි කියහි කුමක් නිසා කියහිදැයි ඇසූහ. ‘ස්වාමීනි, මම වස්ත්‍රාභරණ සඳහා නොකියමි. මාගේ ත්‍රිවිධ සම්පත්තීන්ගේ විනාශයක් වෙයි. එය නිසා කියමි. නුඹවහන්සේලා මාගේ සහෝදරයා දන්නහු නම් මා පැවිදිකරන්නහුයයි දනිමි’යි කීවේය. ඔබගේ සහෝදරයා කිනම් වූවෙදැයි ඇසූහ. ගිහිකල්හි උපතිස්ස නම් විය. දැන් සාරිපුත්ත නම් වූයේයි කියත්. ‘ඇවැත්නි, එසේ ඇතිකල්හි මේ කුලපුත් තෙමේ අපගේ කනිටු බෑයා නම් වෙයි. අපගේ වැඩිමහල් සොයුරු දම්සෙනෙවි කලින්මමෙසේ කියා ඇත: අපේ නෑදෑයෝ සියලු දෙනා මිත්‍ථ්‍යාදෘෂ්ටිකයෝය. යම් කිසිවෙක් අපගේ ඥාතියෙකැයි එයිද ඔහුව යම් කිසි උපායකින් පැවිදිකරවු’ යනුවෙනි. මෙතෙම වනාහි තෙරුන්වහන්සේගේ ආධයාත්මික සහෝදරයාය. මොහු පැදිකරවු’යි කියා තචපංචක කර්‍මස්ථානය දැනුම්දී පැවිදි කරවූහ. ඉක්බිති පිරිපුන් විසිවස් ඇති මොහු උපසම්පදා කරවා කමටහන්හි යෙදවූහ.