404. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් උපේක්‍ෂා සහගත වූ රූපාලම්බන වූ විපාකචක්‍ෂුර්විඥානය උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
එහි සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් චේතයිත බවෙක් වේ ද මේ ‘සංස්කාර’ යි කියනු ලැබේ.
එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ චක්‍ෂුර්විඥානධාතුයෙක් වේ ද, මේ ‘සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන’ යි කියනු ලැබේ.
එහි විඥානප්‍රත්‍යයෙන් නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යි. මේ ‘විඥානප්‍රත්‍යයෙන් නාම’ යි කියනු ලැබේ.
එහි නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප චක්‍ෂුර්විඥානධාතුයෙක් වේ ද, මේ ‘නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන’ යි කියනු ලැබේ.
එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් සංස්පර්‍ශාකාරයෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ‘ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ’ යි කියනු ලැබේ.
එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: යම් චෛතසික වූ නො ම සාත වූ අසාත නො වූ චේතෝසම්ඵස්සයෙන් උපන් නො දුක් නො සුව වූ වේදයිතයෙක් චේතෝසම්ඵස්සජ වූ අදුක්ඛමසුඛවේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ.
එහි වේදනාප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: වේදනාව තබා සංඥාස්කන්‍ධ ය, සංස්කාර ස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මේ ‘වේදනාප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ.
එහි භවප්‍රත්‍යයෙන් ජාති කවර යත්: ඒ අරූපීධර්‍මයන්ගේ යම් ඉපැද්මෙක් මොනොවට ඉපැද්මෙක් නිපැද්මෙක් වෙසෙසින් නිපැද්මෙක් වේ ද, මේ ‘භවප්‍රත්‍යයෙන් ජාති’ යි කියනු ලැබේ.
එහි ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ කවරෙ යත්: ජරාවක් ඇත, මරණයෙක් ඇති. එහි ජරා කවර යත්: ඒ ධර්‍මයන්ගේ යම් දිරීමෙක් දිරන බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් වේ ද, මේ ‘ජරා’ යි කියනු ලැබේ. එහි මරණ කවරෙ යත්: ඒ ධර්‍මයන්ගේ ක්‍ෂය වීමෙක් ගෙවීමෙක් බිඳීමෙක් හාත්පසින් බිඳීමෙක් අනිත්‍ය බවෙක් අතුරුදහන් වීමෙක් වේ ද, මේ ‘මරණ’ යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය ද මේ ‘ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ’ යි කියනු ලැබේ.
‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යනු: මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සඞ්ගතිය වෙයි, සමාගමය වෙයි, සමවධානය වෙයි ප්‍රාදුර්‍භාවය වේ. එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
405. එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය වෙයි, විඥාන ප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමය වෙයි, නාම ප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
406. එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානසම්ප්‍රයුක්ත වූ නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
407. එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙනුදු සංස්කාරය වේ. විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙනුදු විඥානය වේ. නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙනුදු නාමය වේ. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු ෂෂ්ඨායතනය වේ. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙනුදු ස්පර්‍ශ වේ. වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.