6. ප්‍රතීත්‍යසමුත්පාද විභඞ්ගය
347. අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති, සංස්කාරප්‍රත්‍යයෙන් (විපාක) විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වෙයි, ෂඩායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් (උපප්‍රාප්ති) භවය වෙයි, (කර්‍ම) භවප්‍රත්‍යයෙන් ජාතිය වෙති, ජාතිප්‍රත්‍යයෙන් ජරා-මරණ ද සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ ද වෙත්. මෙසේ තෙල සියලු දුඃඛස්කන්‍ධයාගේ ඉපදීම වේ.
348. එහි අවිද්‍යා කවර යත්: දුඃඛසත්‍යයෙහි නො දැනීම ය, දුඃඛසමුදයසත්‍යයෙහි නො දැනීම ය, දුඃඛනිරෝධසත්‍යයෙහි නො දැනීම ය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාසත්‍යයෙහි නො දැනීම යි. මේ අවිද්‍යා යි කියනු ලැබේ.
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් (උපාදාන) සංස්කාරයෝ කවරහ යත්: පුණ්‍යාභිසංස්කාර ය, අපුණ්‍යාභිසංස්කාර ය, ආනඤ්ජාභිසංසස්කාර ය, කායසංස්කාර ය, වාක්සංස්කාරය, චිත්තසංස්කාර යි.
එහි පුණ්‍යාභිසංස්කාර කවරෙ යත්: දානමය වූ ද ශීලමය වූ ද භාවනාමය වූ ද කාමාවචර වූ රූපාවචර වූ කුශලචේතනා යි. මේ පුණ්‍යාභිසංස්කාර යි කියනු ලැබේ.
එහි අපුණ්‍යාභිසංස්කාර කවරෙ යත්: කාමාවචර අකුශලචේතනා යි. මේ අපුණ්‍යාභිසංස්කාර යි කියනු ලැබේ.
එහි ආනඤ්ජාභිසංස්කාර කවරෙ යත්: අරූපාවචර කුශලචේතනා යි. මේ ආනඤ්ජාභිසංස්කාර යි කියනු ලැබේ.
එහි කායසංස්කාර කවරෙ යත්: කායසඤ්චේතනාව කායසංස්කාර ය, වාක්සඤ්චේතනාව වාක්සංස්කාර ය, මනස්සඤ්චේතනාව චිත්තසංස්කාර යි. මොහු අවිද්‍යාප්‍රත්‍යයෙන් උපදනා සංස්කාරහ යි කියනු ලැබෙත්.
349. එහි සංස්කාරප්‍රත්‍යයෙන් උපදනා විඥානය කවරෙ යත්: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍රවිඥාන ය, ඝ්‍රාණවිඥාන ය, ජිහ්වාවිඥාන ය, කායවිඥාන ය, මනෝවිඥාන යි. මේ සංස්කාරප්‍රත්‍යයෙන් උපදනා ‘විඥාන’ යි කියනු ලැබේ.
350. එහි විඥානප්‍රත්‍යයෙන් උපදනා නාමරූප කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති.
එහි නාම කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යි. මේ ‘නාම’ යි කියනු ලැබේ.
එහි රූප කවරෙ යත්: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා උපන් රූපය දැ යි මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ විඥානප්‍රත්‍යයෙන් උපදනා ‘නාමරූප’ යි කියනු ලැබේ.
351. එහි නාමරූපප්‍රත්‍යයෙන් උපදනා ෂඩායතන කවරෙ යත්: චක්ඛායතන ය, සෝතායතන ය, ඝානායතන ය, ජිව්හායතන ය, කායාතන ය, මනායතන යි. මේ නාමරූපප්‍රත්‍යයෙන් උපදනා ෂඩායතන යි කියනු ලැබේ.
352. එහි ෂඩායතනප්‍රත්‍යයෙන් උපදනා ස්පර්‍ශය කවරෙ යත්: චක්ඛුසම්ඵස්ස ය, සෝතසම්ඵස්ස ය, ඝානසම්ඵස්ස ය, ජිව්හාසම්ඵස්ස , කායසම්ඵස්ස ය, මනෝසම්ඵස්ස යි. මේ ෂඩායතනප්‍රත්‍යයෙන් උපදනා ස්පර්‍ශ යි කියනු ලැබේ.
353. එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා වේදනා කවර යත්: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා ය සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් වේදනා ය, කායසම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝසම්ඵස්සයෙන් උපන් වේදනා යි. මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා වේදනා යි කියනු ලැබේ.
354. එහි වේදනාප්‍රත්‍යයෙන් උපදනා තෘෂ්ණා කවර යත්: රූපතෘෂ්ණා ය, ශබ්දතෘෂ්ණා ය, ගන්‍ධතෘෂ්ණා ය, රසතෘෂ්ණාය, ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා ය, ධර්‍මතෘෂ්ණා යි. මේ වේදනාප්‍රත්‍යයෙන් උපදනා තෘෂ්ණා යි කියනු ලැබේ.
355. එහි තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපදනා උපාදාන කවරෙ යත්: කාමොපාදාන ය, දෘෂ්ට්‍යුපාදාන ය, ශීලව්‍රතොපාදාන ය, ආත්මවාදෝපාදාන යි. මේ තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපදනා උපාදාන යි කියනු ලැබේ.
356. එහි උපාදානප්‍රත්‍යයෙන් උපදනා භවය කවරෙ යත්: භවය ද්විප්‍රකාරයෙන් වෙයි: කර්‍මභවයෙක් ඇත, උපප්‍රාප්තිභවයෙක් ඇති.
එහි කර්‍මභව කවරෙ යත්: පුණ්‍යාභිසංස්කාර ය, අපුණ්‍යාභිසංස්කාර ය, ආනඤ්ඣාභිසංස්කාර යි. මේ කර්‍මභව යි කියනු ලැබේ. හැම භවගාමීකර්‍මය කර්‍මභව වේ.
එහි උපප්‍රාප්තිභව කවරෙ යත්: කාමභව ය, රූපභව ය, අරූපභව ය, සංඥාභව ය, අසංඥාභව ය, නෛවසංඥානාසංඥා භව ය, ඒකවෝකාරභව ය, චතුවෝකාරභව ය, පඤ්චවෝකාරභව යි, මේ උපප්‍රාප්තිභව යි කියනු ලැබේ. මේ උපාදානප්‍රත්‍යයෙන් උපදනා භව යි කියනු ලැබේ.
357. එහි භවප්‍රත්‍යයෙන් උපදනා ජාති කවරෙ යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙයෙහි යම් ඉපැද්මෙක් (පරිපූර්‍ණායතණ විසින්) මොනොවට ඉපැද්මෙක් අවක්‍රාන්තියෙක් වෙසෙසින් ඉපැද්මෙක් ස්කන්‍ධයන්ගේ පහළ වීමෙක් ආයතනයන්ගේ ප්‍රතිලාභයෙක් වේ ද, මේ භවප්‍රත්‍යයෙන් ජාති යි කියනු ලැබේ.
358. එහි ජාතිප්‍රත්‍යයෙන් උපදනා ජරාමරණ කවරෙ යත්: ජරායෙක් ඇත, මරණයෙක් ඇති.
එහි ජරා කවර යත්: ඒ ඒ සත්ත්‍වනිකායෙහි ඒ ඒ සත්ත්‍වයන්ගේ යම් දිරීමෙක් දිරනඅයුරෙක් ඛණ්ඩිත බවෙක් පැසුණු බවෙක් රැලිනැඟුණු සම ඇති බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් ඉඳුරන් මිහි කිරීමෙක් වේ ද, මේ ජරා යි කියනු ලැබේ.
එහි මරණ කවරෙ යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙන් යම් ච්‍යුතියෙක් ච්‍යුත වන බවෙක් බිඳීමෙක් අතුරුදහන් වීමෙක් මෘත්‍යුසඞ්ඛ්‍යාත මරණයෙක් කලුරිය කිරීමෙක් ස්කන්‍ධයන්ගේ බිඳීමෙක් කලෙවරයාගේ බහා තැබීමෙක් ජීවිතේන්‍ද්‍රියයාගේ සිඳීමෙක් වේ ද, මේ මරණ යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය දැ යි මේ ජාතිප්‍රත්‍යයෙන් උපදනා ජරාමරණ යි කියනු ලැබේ.