991. එහි සප්තානුශයයෝ කවරහ යත්: කාමරාගානුශය ය, ප්‍රතිඝානුශය ය, මානානුශය ය, දෘෂ්ට්‍යනුශය ය, විචිකිත්සානුශය ය, භවරාගානුශය ය, අවිද්‍යානුශය යි. මොහු සප්තානුශය වෙත්.
992. එහි සප්තසංයෝජනයෝ කවරහ යත්: කාමරාගසංයෝජන ය, ප්‍රතිඝසංයෝජන ය, මානසංයෝජන ය, දෘෂ්ටිසංයෝජන ය, විචිකිත්සාසංයෝජන ය, භවරාගසංයෝජන ය, අවිද්‍යාසංයෝජන යි. මොහු සප්තසංයෝජනයෝ යි.
993. එහි සප්ත පර්‍ය්‍යුත්‍ථානයෝ කවරහ යත්: කාමරාගපර්‍ය්‍යුත්‍ථාන ය, ප්‍රතිඝපර්‍ය්‍යුත්‍ථාන ය, මානපර්‍ය්‍යුත්‍ථාන ය, දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ය, විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන ය, භවරාගපර්‍ය්‍යුත්‍ථාන ය, අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන යි. මොහු සප්ත පර්‍ය්‍යුත්‍ථානයෝ යි.
994. එහි සප්ත අසද්ධර්‍මයෝ කවරහ යත්: අශ්‍රාද්ධයෙක් වෙයි, අහ්‍රීකයෙක් වෙයි, පාපභීරුක නො වූයෙක් වෙයි, අල්පශ්‍රැතයෙක් වෙයි, කුසීතයෙක් වෙයි, මූඪස්මෘති ඇත්තේ වෙයි, දුෂ්ප්‍රාඥයෙක් වේ. මොහු සප්තඅසද්ධර්‍මයෝ යි.
995. එහි සප්ත දුශ්චරිතයෝ කවරහ යත්: ප්‍රාණඝාත ය, අදත්තාදාන ය, කාමමිථ්‍යාචාර ය, මෘෂාවාද ය, පිශුනවචන ය, පරුෂවචන ය, සම්ඵප්‍රලාප යි. මොහු සප්ත දුශ්චරිතයෝ යි.
996. එහි සප්ත මානයෝ කවරහ යත්: මාන ය, අතිමාන ය, මානාතිමාන ය, අවමාන ය, අධිමාන ය, අස්මීමාන ය, මිථ්‍යාමාන යි. මොහු සප්ත මානයෝ යි.
997. එහි සප්තදෘෂ්ටීහු කවරහ යත්: මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. භවත, යම් හෙයකින් රූපී වූ චාතුර්මහාභූතික වූ මාතෘපෛතෘකසම්භව වූ මේ ආත්මය කරජකායයාගේ බිඳීමෙන් සිඳේ ද, වැනැසේ ද, මරණින් මත්තෙහි නො වේ ද, භවත, මෙතෙකින් මේ ආත්මය මොනොවට සිඳුනේ වේ යයි, මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය විනාශය විභවය පනවති.
ඔහුට අනෙකෙක් මෙසේ කියයි.: භවත, තෝ යමක් කියෙහි නම් තෙල ආත්මය ඇත් ම ය, තෙල නැතැ යි නො කියමි. එතෙකුදුවත් භවත, මේ ආත්මය මෙතෙකින් මොනොවට සිඳුණේ නො වෙයි. භවත, දිව්‍ය වූ රූපී වූ කාමාවචර වූ කවලීකාරාහාරය වළඳනා අන්‍ය ආත්මයෙක් ඇත් මැ යි. එය තෝ නො දන්නෙහි ය, නො දක්නෙහි ය. එය මම් දනිමි දක්මි. භවත, ඒ මේ ආත්මය යම් හෙයෙකින් කරජකායයාගේ භේදයෙන් සිඳේ ද, වැනැසේ ද, මරණින් මත්තෙහි නො වේ ද, භවත, මෙතෙකින් මේ ආත්මය මොනොවට සිඳුනේ වේ යයි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය විනාශය විභවය පනවති.
ඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, තෝ යමක් කියෙහි නම් තෙල ආත්ම ඇත් ම ය, තෙලෙ නැතැ’ යි නො කියමි. එතෙකුදුවත් භවත, මේ ආත්මය මෙතෙකින් මොනොවට සිඳුනේ නො වෙයි. භවත, දිව්‍ය වූ රූපී වූ (ධ්‍යාන) මනසින් නිපන් හැම අඟපසඟ ඇති පරිපූර්‍ණ ඉන්‍ද්‍රිය ඇති අන්‍ය ආත්මයෙක් ඇත් මැ යි. එය තෝ නො දන්නෙහි ය, නො දක්නෙහි ය, එය මම් දනිමි, දක්මි. භවත, ඒ මේ ආත්මය යම් හෙයෙකින් ශරීරයාගේ භේදයෙන් සිඳේ ද, වැනැසේ ද, මරණින් මත්තෙහි නො වේ ද, මෙතෙකින් භවත, මේ ආත්මය මොනොවට සිඳුණේ වේ යයි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය විනාශය විභවය පනවති.
ඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, තෝ යමක් කීයෙහි නම් තෙල ආත්මය ඇත් ම ය, තෙලෙ නැතැ යි නො කියමි. එතෙකුදුවත් භවත, මේ ආත්මය මෙතෙකින් මොනොවට සිඳුනේ නො වෙයි. භවත, සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් ‘ආකාශය අනන්ත ය’ යි ආකාසානඤ්චායතනයට පැමිණි අන්‍ය ආත්මයෙක් ඇත. එය තෝ නො දන්නෙහි ය, නො දක්නෙහි ය, එය මම් දනිමි, දක්මි. භවත, ඒ ආත්මය යම් හෙයෙකින් ශරීරයාගේ භේදයෙන් සිඳේ ද, වැනැසේ ද, මරණින් මත්තෙහි නො වේ ද, මෙතෙකින් භවත, මේ ආත්මය මොනොවට සිඳුණේ වේ යයි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය විනාශය විභවය පනවති.