1006. එහි නව ආඝාතවස්තූහු කවරහ යත්: මට අනර්‍ත්‍ථයක් කෙළේ යැ යි ආඝාතයෙක් උපදී. මට අනර්‍ත්‍ථයක් කෙරේ යැ යි ආඝාතයෙක් උපදියි. මට අනර්‍ත්‍ථයක් කරන්නේ යැ යි ආඝාතයෙක් උපදියි. මාගේ ප්‍රියමනාපයහට අනර්‍ත්‍ථයක් කෙළේ ය, අනර්‍ත්‍ථයෙක් කෙරෙයි, අනර්‍ත්‍ථයක් කරන්නේ යැ යි ආඝාතයෙක් උපදියි. මාගේ අප්‍රිය අමනාපයහට අර්‍ත්‍ථයක් කෙළේ ය, අර්‍ත්‍ථයක් කෙරෙයි, අර්‍ත්‍ථයක් කරන්නේ යැ යි ආඝාතයෙක් උපදියි. මොහු නව ආඝාතවස්තූහු වෙත්.
1007. එහි නව පුරුෂමලයෝ කවරහ යත්: ක්‍රෝධ ය, මකු බව ය, ඊර්‍ෂ්‍යා ය, මාත්සර්‍ය්‍ය ය, මායා ය, ශඨ බව ය, මෘෂාවාද ය, පාපේච්ඡතා ය, මිථ්‍යාදෘෂ්ටි යි. මොහු නව පුරුෂමලයෝ යි.
1008. එහි නවවිධ මානයෝ කවරහ යත්: මම ශ්‍රේෂ්ඨයහට ශ්‍රේෂ්ඨයෙමි යන මානය, මම ශ්‍රේෂ්ඨයහට සදෘශයෙමි යන මාන ය, මම ශ්‍රේෂ්ඨයහට හීනයෙමි යන මානය, මම සදෘශයහට ශ්‍රේෂ්ඨයෙමි යන මාන ය, මම සදෘශයහට සදෘශයෙමි යන මාන ය, මම සදෘශයහට හීනයෙමි යන මාන ය, මම හීනයහට ශ්‍රේෂ්ඨයෙමි යන මාන ය, මම හීනයහට සදෘශයෙමි යන මාන ය, මම හීනයහට හීනයෙමි යන මාන යි. මොහු නවවිධ මානයෝ යි.
1009. එහි නව තෘෂ්ණාමූලකධර්‍මයෝ කවරහ යත්: තෘෂ්ණාව නිසා (රූපාදි අරමුණු) සෙවීම ය, පර්‍ය්‍යෙෂණය නිසා ලාභ ය, ලාභය නිසා තෘෂ්ණාදෘෂ්ටිවිනිශ්චය ය, විනිශ්චය නිසා ඡන්‍දරාග ය, ඡන්‍දරාගය නිසා (මම ය මාගේ ය යන) අධ්‍යවසාන ය, අධ්‍යවසානය නිසා තෘෂ්ණාදෘෂ්ටි පරිග්‍රහ ය, පරිග්‍රහය නිසා මාත්සර්‍ය්‍ය ය, මාත්සර්‍ය්‍යය නිසා ආරක්‍ෂාව ය, ආරක්‍ෂාව හේතු කොට දඬුගැනීම ය, අවිගැනීම ය, කලහ ය, විග්‍රහ ය, විවාද ය, තෝ තෝ යන බස ය, පෛශුන්‍ය ය, මෘෂාවාද ය යන මොහු ය, නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ ය, යන මොහු වෙත්. මොහු නව තෘෂ්ණාමූලකධර්‍මයෝ යි.
1010. එහි නව ඉඤ්ජිතයෝ කවරහ යත්: ‘වෙමි’ යන තෙල ඉඤ්ජිතයෙක, ‘මම වෙමි’ තෙල ඉඤ්ජිතයෙක, ‘මේ මම වෙමි’ තෙල ඉඤ්ජිතයෙක, ‘වන්නෙමි’ තෙල ඉඤ්ජිතයෙක, ‘රූපී වන්නෙමි’ තෙල ඉඤ්ජිතයෙක, ‘අරූපී වන්නෙමි’ තෙල ඉඤ්ජිතයෙක, ‘සංඥී වන්නෙමි’ තෙල ඉඤ්ජිතයෙක, ‘අසංඥී වන්නෙමි’ තෙල ඉඤ්ජිතයෙක, ‘නෛවසංඥීනාසංඥී වන්නෙමි’ තෙල ඉඤ්ජිතයෙකි. මොහු නව ඉඤ්ජිතයෝ යි.
1011. එහි නව මඤ්ඤිතයෝ කවරහ යත්: ... නව ඵන්‍දිතයෝ ... නවපපඤ්චිතයෝ ... නව සඞ්ඛතයෝ කවරහ යත්: ‘වෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘මම වෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘මේ මම වෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘වන්නෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘රූපී වන්නෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘අරූපී වන්නෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘සංඥී වන්නෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘අසංඥී වන්නෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘නෛවසංඥීනාසංඥී වන්නෙමි’ තෙල සඞ්ඛතයෙකි. මොහු නව සඞ්ඛතයෝ යි.
නවක යි.
1012. එහි දශ ක්ලේශවස්තූහු කවරහ යත්: ලෝභ ය, ද්වේෂ ය, මෝහ ය, මාන ය, දෘෂ්ටි ය, විචිකිත්සා ය, ස්ත්‍යාන ය, ඖද්ධත්‍ය ය, අහ්‍රීයක ය, අනපත්‍රපා යි. මොහු දශක්ලේශවස්තූහු වෙත්.
1013. එහි දශ ආඝාතවස්තු කවරහ යත්: මට අනර්‍ත්‍ථ කළැ යි ආඝාත උපදී. මට අනර්‍ත්‍ථ කෙරේ යැ යි ආඝාත උපදී. මට අනර්‍ත්‍ථ කරන්නේ යැ යි ආඝාත උපදී. මාගේ ප්‍රියමනාපයහට අනර්‍ත්‍ථ කෙළේ ය, අනර්‍ත්‍ථ කෙරෙ යි, අනර්‍ත්‍ථ කරන්නේ යැ යි ආඝාත උපදී. මාගේ අප්‍රියඅමනාපයහට අර්‍ත්‍ථ කෙළේ ය, අර්‍ත්‍ථ කෙරෙ යි, අර්‍ත්‍ථ කරන්නේ යැ යි ආඝාත උපදී. යළි අස්ථානයෙහි හෝ ආඝාත උපදී. මොහු දශ ආඝාතවස්තු වෙත්.
1014. එහි දශ අකුශලකර්‍මපථයෝ කවරහ යත්: ප්‍රාණවධය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය, මෘෂාවාදය, පිශුනවචනය, පරුෂවචනය, සම්ඵප්‍රලාපය, අභිධ්‍යාය, ව්‍යාපාදය මිථ්‍යාදෘෂ්ටි යි. මොහු දශ අකුශලකර්‍මපථයෝ යි.
1015. එහි දශ සංයෝජනයෝ කවරහ යත්: කාමරාගසංයෝජන ය, ප්‍රතිඝසංයෝජන ය, මානසංයෝජන ය, දෘෂ්ටිසංයෝජන ය, විචිකිත්සාසංයෝජන ය, ශීලව්‍රතපරාමර්‍ශසංයෝජන ය, භවරාගසංයෝජන ය, ඊර්‍ෂ්‍යාසංයෝජන ය, මාත්සර්‍ය්‍යසංයෝජන ය, අවිද්‍යාසංයෝජන යි. මොහු දශ සංයෝජනයෝ යි.