1017. එහි දශවස්තුකමිථ්‍යාදෘෂ්ටි කවර යත්: දුන්දැයෙහි විපාක නැත, පුදනලදුයෙහි විපාක නැත, හවනලදුයෙහි විපාක නැත, සුකෘතදුෂ්කෘතකර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මව් නැත, පියා නැත, ඕපපාතිකසත්ත්‍වයෝ නැත, ලොව යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ ම දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් නම්, එබඳු සම්‍යග්ගත වූ සම්‍යක්ප්‍රතිපන්න වූ ශ්‍රමණබ්‍රාහ්මණ කෙනෙක් නැතැ යි, මේ දශවස්තුකමිථ්‍යාදෘෂ්ටි වේ.
1018. එහි දශවස්තුක අන්තග්‍රාහිකදෘෂ්ටි කවර යත්: ලෝකය ශාස්වතැ යි හෝ ලෝකය අශාශ්වතැ යි හෝ ලෝකය අන්තවත් යැ යි හෝ ලෝකය අනන්තවත්යැ යි හෝ එ මැ ජීවය එ මැ ශරීර යැ යි හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ යි හෝ, සත්ත්‍ව තෙමේ මරණින් මතු වෙයි හෝ, සත්ත්‍ව තෙමේ මරණින් මතු නො වෙයි හෝ, සත්ත්‍ව තෙමේ මරණින් මතු වන්නේත් නො වන්නේත් වේ යැ යි හෝ සත්ත්‍ව තෙමේ මරණින් මතු නො ම වෙයි නො වන්නේ නො වෙයි හෝ යි. මේ දශවස්තුක අන්තග්‍රාහිකාදෘෂ්ටි වේ.
දශක යි.
1019. එහි ආධ්‍යාත්මිකපඤ්චස්කන්‍ධය නිසා පවත්නා අටළොස් තෘෂ්ණාවිචරිතයෝ කවරහ යත්: (මම) ‘වෙමි’ (තෘෂ්ණාව) වෙයි, ‘මේ ප්‍රකාර වෙමි’ තෘෂ්ණා වෙයි, ‘මෙසේ වෙමි’ තෘෂ්ණාව වෙයි, ‘අන් ප්‍රකාරයෙකින් වෙමි’ තෘෂ්ණා වෙයි, (මම) ‘වන්නෙමි’ තෘෂ්ණා වෙයි, ‘මේ ප්‍රකාරයෙන් වන්නෙමි’ වෙයි, ‘මෙසේ වන්නෙමි’ වෙයි, ‘අන් ප්‍රකාරයෙකින් වන්නෙමි’ වෙයි, ‘ශාස්වතයෙමි’ වෙයි, ‘අශාස්වතයෙමි’ වෙයි, ‘වන්නෙම් දෝහෝ’ යි වෙයි, ‘මේ ප්‍රකාරයෙන් වන්නෙම් දෝහෝ’ යි වෙයි, ‘මෙසේ වන්නෙම් දෝහෝ’ යි වෙයි, ‘අන් ප්‍රකාරයෙකින් වන්නෙම් දෝහෝ’ යි වෙයි, ‘වන්නෙම් නම් මැනැවැ’ යි වෙයි, ‘මේ ප්‍රකාරයෙන් වන්නෙම් නම් මැනැවැ’ යි වෙයි, ‘මෙසේ වන්නෙම් නම් මැනැවැ’ යි වෙයි, ‘අන් ප්‍රකාරයෙකින් වන්නෙම් නම් මැනැවැ’ යි වේ.
කිසෙයින් ‘වෙමි’ වේ ද යත්: කිසි දහමක් රූපය, වේදනාව, සංඥාව, සංස්කාරයන් විඥානය නො වෙන් කොට ගෙන ‘මම වෙමි’ යි තෘෂ්ණාවට පැමිණෙ යි. ‘මම වෙමි’ යි මානයට පැමිණෙයි. ‘මම වෙමි’ යි දෘෂ්ටියට පැමිණෙ යි. ඒ තුන් ප්‍රපඤ්චයන් ඇති කල්හි ‘මේ ප්‍රකාර වෙමි’ යි හෝ ‘මෙසේ වෙමි’ යි හෝ ‘අන් ප්‍රකාරයෙකින් වෙමි’ යි හෝ මේ ප්‍රපඤ්චිතයෝ වෙති.
කිසෙයින් ‘මේ ප්‍රකාර වෙමි’ වේ ද යත්: ක්‍ෂත්‍රියයෙමි හෝ බ්‍රාහ්මණයෙමි හෝ වෛශ්‍යයෙමි හෝ ශුද්‍රයෙමි හෝ ගෘහස්තයෙමි හෝ ප්‍රව්‍රජිතයෙමි හෝ දිව්‍යයෙමි හෝ මනුෂ්‍යයෙමි හෝ රූපී වෙමි හෝ අරූපී වෙමි හෝ සංඥී වෙමි හෝ අසංඥී වෙමි හෝ නෛවසංඥීනාසංඥී වෙමි හෝ ‘මේ ප්‍රකාර වෙමි’ යි වේ.
කිසෙයින් ‘මෙසේ වෙමි’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම ක්‍ෂත්‍රියෙමි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම බ්‍රාහ්මණයෙමි හෝ යම්සේ හෙතෙම වෛශ්‍ය වේ නම් එසෙයින් මම වෛශ්‍යයෙමි හෝ යම්සේ හෙතෙම ශුද්‍ර වේ නම් එසෙයින් මම ශුද්‍රයෙමි හෝ යම්සේ හෙතෙම ගෘහස්ථ වේ නම් එසෙයින් මම ගෘහස්ථයෙමි හෝ යම්සේ හෙතෙම ප්‍රව්‍රජිත වේ නම් එසෙයින් මම ප්‍රව්‍රජිතයෙමි හෝ යම්සේ හෙතෙම දිව්‍ය වේ නම් එසෙයින් මම දිව්‍යයෙමි හෝ යම්සේ හෙතෙම රූපී වේ නම් එසෙයින් මම රූපී වෙමි හෝ යම්සේ හෙතෙම අරූපී වේ නම් එසෙයින් මම අරූපී වෙමි හෝ යම්සේ හෙතෙම සංඥී වේ නම් එසෙයින් මම සංඥී වෙමි හෝ යම්සේ හෙතෙම අසංඥී වේ නම් එසෙයින් මම අසංඥී වෙමි හෝ යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම නෛවසංඥීනාසංඥී වෙමි හෝ මෙසෙයින් ‘මෙසේ වෙමි’ යි වේ.
කිසෙයින් ‘අන්ප්‍රකාරයෙකින් වෙමි’ වේ ද යත්: පරපුඟුලකු පිණිස යම් සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම ක්‍ෂත්‍රිය නො වෙමි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම බ්‍රාහ්මණ නො වෙමි හෝ යම්සේ හෙතෙම වෛශ්‍ය වේ නම් එසෙයින් මම වෛශ්‍ය නො වෙමි හෝ යම්සේ හෙතෙම ශුද්‍ර වේ නම් එසෙයින් මම ශුද්‍ර නො වෙමි හෝ යම්සේ හෙතෙම ගෘහස්ථ වේ නම් එසෙයින් මම ගෘහස්ථ නො වෙමි හෝ යම්සේ හෙතෙම ප්‍රව්‍රජිත වේ නම් එසෙයින් මම ප්‍රව්‍රජිත නො වෙමි හෝ යම්සේ හෙතෙම දෙවි වේ නම් එසෙයින් මම දෙවි නො වෙමි හෝ යම්සේ හෙතෙම මනුෂ්‍ය වේ නම් එසෙයින් මම මනුෂ්‍ය නො වෙමි හෝ යම්සේ හෙතෙම රූපී වේ නම් එසෙයින් මම රූපී නො වෙමි හෝ යම්සේ හෙතෙම අරූපී වේ නම් එසෙයින් මම අරූපී නො වෙමි හෝ යම්සේ හෙතෙම සංඥී වේ නම් එසෙයින් මම සංඥී නො වෙමි හෝ යම්සේ හෙතෙම අසංඥී වේ නම් එසෙයින් මම අසංඥී නො වෙමි හෝ යම් සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම නෛවසංඥීනාසංඥී නො වෙමි හෝ මෙසෙයින් ‘අන් ප්‍රකාරයෙකින් වෙමි’ යි වේ.
කිසෙයින් ‘වන්නෙමි’ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය නො වෙන් කොටගෙන මම වන්නෙමි තෘෂ්ණාවට පැමිණෙයි, වන්නෙමි මානයට පැමිණෙයි, වන්නෙමි දෘෂ්ටියට පැමිණෙයි, ඒ තුන් ප්‍රපඤ්චයන් ඇති කල්හි මේ ප්‍රකාරයෙන් වන්නෙමි හෝ මෙසේ වන්නෙමි හෝ අන් ප්‍රකාරයෙකින් වන්නෙමි හෝ මේ ප්‍රපඤ්චිතයෝ වෙත්.
කිසෙයින් ‘මේ ප්‍රකාරයෙන් වන්නෙමි’ යි වේ ද යත්: ක්‍ෂත්‍රිය වන්නෙමි හෝ, බ්‍රාහ්මණ වන්නෙමි හෝ, වෛශ්‍ය වන්නෙමි හෝ, ශුද්‍ර වන්නෙමි හෝ, ගෘහස්ථ වන්නෙමි හෝ, ප්‍රව්‍රජිත වන්නෙමි හෝ, දිව්‍ය වන්නෙමි හෝ, මනුෂ්‍ය වන්නෙමි හෝ, රූපී වන්නෙමි හෝ, අරූපී වන්නෙමි හෝ, සංඥී වන්නෙමි හෝ, අසංඥී වන්නෙමි හෝ, නෛවසංඥීනාසංඥී වන්නෙමි හෝ මෙසෙයින් ‘මේ ප්‍රකාරයෙන් වන්නෙමි’ යි වේ.
කිසෙයින් ‘මෙසේ වන්නෙමි’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම ක්‍ෂත්‍රිය වන්නෙමි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම බ්‍රාහ්මණ වන්නෙමි හෝ ... යම් සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම නෛවසංඥීනාසංඥී වන්නෙමි හෝ මෙසෙයින් ‘මෙසේ වන්නෙමි’ යි වේ.
කිසෙයින් ‘අන් ප්‍රකාරයෙකින් වන්නෙමි’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම ක්‍ෂත්‍රිය නො වන්නෙමි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම බ්‍රාහ්මණ නො වන්නෙමි හෝ ... යම් සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම නෛවසංඥීනාසංඥී නො වන්නෙමි හෝ මෙසෙයින් ‘අන් ප්‍රකාරයෙකින් වන්නෙමි’ යි වේ.