817. පඤ්චවිඥානයෝ හේතු නො වූවාහු ම ය, අහේතුකයෝ ම ය, හේතු විප්රයුක්තයෝ ම ය, සප්රත්යයෝ ම ය, සඞ්ඛතයෝ ම ය, අරූපයෝ ම ය, ලෞකිකයෝ ම ය, සාස්රවයෝ ම ය, සංයෝජනියයෝ ම ය, ග්රන්ථනීයයෝ ම ය, ඕඝනීයයෝ ම ය, යෝගනීයයෝ ම ය, නීවරණියයෝ ම ය, පරාමෘෂ්ටයෝ ම ය, උපාදානියයෝ ම ය, සාංක්ලෙසිකයෝ ම ය, අව්යාකෘතයෝ ම ය, සාලම්බනයෝ ම ය, අචෛතසිකයෝ ම ය, විපාකයෝ ම ය, උපාදින්නෝපාදානියයෝ ම ය, අසාංක්ලිෂ්ටසංක්ලෙසිකයෝ ම ය, සවිතර්කසවිචාර නො වූවාහු ම ය, අවිතර්කවිචාරමාත්ර නො වූවාහු ම ය, අවිතර්කඅවිචාරයෝ ම ය, ප්රීතිසහගත නො වූවාහු ම ය, නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්යයෝ ම ය, නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්යහේතු ඇත්තාහු ම ය, නෛවාචයගාමිනාපචයගාමීහු ම ය, නෛවශෛක්ෂනාශෛක්ෂයෝ ම ය, පරිත්තයෝ ම ය, කාමාවචරයෝ ම ය, රූපාවචර නො වූවාහු ම ය, අරූපාවචර නො වූවාහු ම ය, පර්ය්යාපන්නයෝ ම ය, අපර්ය්යාපන්න නො වූවාහු ම ය, අනියතයෝ ම ය, අනෛර්ය්යාණිකයෝ ම ය, උත්පන්න ය, මනෝවිඥානයෙන් දතයුත්තෝ ම ය, අනිත්ය ම ය, ජරායෙන් මඩනා ලද්දාහු මැ යි.
පඤ්චවිඥානයෝ උත්පන්නවස්තුකයෝ ය, උත්පන්නාලම්බනයෝ ය යනු: උපන් වස්තුයෙහි උපන් අරමුණෙහි උපදිත්. පුරේජාතවස්තුකයෝ ය, පුරේජාතාලම්බනයෝ ය යනු: පළමු උපන් වස්තුයෙහි පළමු උපන් අරමුණෙහි උපදිත්. ආධ්යාත්මිකවස්තුකයෝ ය, බාහිරාලම්බනයෝ ය යනු: පඤ්චවිඥානයන්ගේ වස්තුව ආධ්යාත්මික ය, ආලම්බනයෝ බාහිරයෝ යි. අසම්භින්නවස්තුකයෝ ය, අසම්භින්නආලම්බනයෝ ය යනු: අනිරුද්ධවස්තුයෙහි අනිරුද්ධආලම්බනයෙහි උපදිත්. නානාවස්තුකයෝ ය, නානාලම්බනයෝ ය යනු: චක්ෂුර්විඥානයාගේ වස්තුව (ප්රසාදය) ත් ආලම්බනයත් අනෙකෙක, ශ්රෝත්රවිඥානයාගේ වස්තුවත් ආලම්බනයත් අනෙකෙක, ඝ්රාණවිඥානයාගේ වස්තුවත් ආලම්බනයත් අනෙකෙක, ජිහ්වාවිඥානයාගේ වස්තුවත් ආලම්බනයත් අනෙකෙක, කායවිඥානයාගේ වස්තුවත් ආලම්බනයත් අනෙකෙකි. අන්යෝන්ය ගෝචරවිෂය නො විඳිති යනු: චක්ෂුර්විඥානයාගේ ගෝචරවිෂය ශ්රෝත්රවිඥානය තෙමේ නො විඳියි, ශ්රෝත්ර විඥානයාගේ ගෝචරවිෂය ද චක්ෂුර්විඥානය නො විඳී. චක්ෂුර්විඥානයාගේ ගෝචරවිෂය ඝ්රාණවිඥානය නො විඳියි. ඝ්රාණවිඥානයාගේ ගෝචරවිෂය ද චක්ෂුර්විඥානය නො විඳී. චක්ෂුර්විඥානයාගේ ගෝචරවිෂය ජිහ්වාවිඥානය නො විඳියි. ජිහ්වාවිඥානයාගේ ගෝචරවිෂය ද චක්ෂුර්විඥානය නො විඳී. චක්ෂුර්විඥානයාගේ ගෝචරවිෂය කායවිඥානය නො විඳියි. කායවිඥානයාගේ ගෝචරවිෂය ද චක්ෂුර්විඥානය නො විඳී. ශ්රෝත්රවිඥානයාගේ ... ඝ්රාණවිඥානයාගේ ... ජිහ්වාවිඥානයාගේ ... කායවිඥානයාගේ ගෝචරවිෂය චක්ෂුර්විඥානය නො විඳියි. චක්ෂුර්විඥානයාගේ ගෝචරවිෂය ද කායවිඥානය නො විඳී. කායවිඥානයාගේ ගෝචරවිෂය ශ්රෝත්රවිඥානය නො විඳියි. ශ්රෝත්රවිඥානයාගේ ගෝචරවිෂය ද කායවිඥානය නො විඳී. කායවිඥානයාගේ ගෝචරවිෂය ඝ්රාණවිඥානය නො විඳියි. ඝ්රාණවිඥානයාගේ ගෝචරවිෂය ද කායවිඥානය නො විඳී. කායවිඥානයාගේ ගෝචරවිෂය ජිහ්වාවිඥානය නො විඳියි. ජිහ්වාවිඥානයාගේ ගෝචරවිෂය ද කායවිඥානය නො විඳී. අසමන්වාහාර ව නූපදිති යනු: සිත්හි ලා එළවන්නහුට උපදිත්. අමනසිකාරව නූපදිති යනු: මෙනෙහි කරන්නහුට උපදිත්. අව්යාකීර්ණව නූපදිති යනු: පිළිවෙළින් නූපදිත්. පෙරපසු නො ව නූපදිති යනු: ඒකක්ෂණයෙහි නූපදිත්.
ඔවුනොවුන්ට සමන්තර ව නූපදිති යනු: චක්ෂුර්විඥානය උපන් සමනන්තර ව ශ්රෝත්රවිඥානය නූපදියි, ශ්රෝත්රවිඥානය උපන් සමනන්තර ව ද චක්ෂුර්විඥානය නූපදී. චක්ෂුර්විඥානය උපන් සමනන්තර ව ඝ්රාණවිඥානය නූපදියි, ඝ්රාණවිඥානය උපන් සමනන්තර ව ද චක්ෂුර්විඥානය නූපදී. චක්ෂුර්විඥානය උපන් සමනන්තර ව ජිහ්වාවිඥානය නූපදියි, ජිහ්වාවිඥානය උපන් සමනන්තර ව ද චක්ෂුර්විඥානය නූපදී. චක්ෂුර්විඥානය උපන් සමනන්තරව කායවිඥානය නූපදියි, කායවිඥානය උපන් සමනන්තර ව ද චක්ෂුර්විඥානය නූපදී. ශ්රෝත්රවිඥානය ... ඝ්රාණවිඥානය ... ජිහ්වාවිඥානය ... කායවිඥානය උපන් සමනන්තර ව චක්ෂුර්විඥානය නූපදියි, චක්ෂුර්විඥානය උපන් සමනන්තරව ද කායවිඥානය නූපදී. කායවිඥානය උපන් සමනන්තර ව ශ්රෝතවිඥානය නූපදියි, ශ්රෝත්රවිඥානය උපන් සමනන්තර ව ද කායවිඥානය නූපදී. කායවිඥානය උපන් සමනන්තර ව ඝ්රාණවිඥානය නූපදියි, ඝ්රාණවිඥානය උපන් සමනන්තරව ද කායවිඥානය නූපදී. කායවිඥානය උපන් සමනන්තර ව ජිහ්වාවිඥානය නූපදියි, ජිහ්වාවිඥානය උපන් සමනන්තර ව ද කායවිඥානය නූපදී.
පඤ්චවිඥානයෝ අනාභෝගයෝ ය යනු: පඤ්චවිඥානයන්ගේ ආවර්ජනයෙක් හෝ අභොගයෙක් හෝ සමන්වාහාරයෙක් හෝ මනසිකාරයෙක් හෝ නැති. පඤ්චවිඥානයෙන් කිසි ධර්මයක් නො දැනගනී යනු: පඤ්චවිඥානයෙන් අභිනිපාතමාත්රය හැර ආපාත (හමුවට පැමිණ රූපාදි අරමුණු) මාත්රය හැර (කුශලාකුශලාදි) කිසි ධර්මයක් නො දැනගනී. පඤ්චවිඥානයන්ට සමන්තර ව ද කිසි ධර්මයක් නො දැනගනී යනු: පඤ්චවිඥානයට සමන්තර වූ මනෝධාතුයෙනුදු කිසි ධර්මයක් නො දැනගනී. පඤ්චවිඥානයෙන් කිසි ඊර්ය්යාපථයක් නො කෙරේ යනු: පඤ්චවිඥානයෙන් යෑමක් වේවයි, සිටීමක් වේවයි, හිඳීමක් වේවයි, හොවීමක් වේවයි, කිසි ඊර්ය්යාපථයක් නො කෙරෙයි. පඤ්චවිඥානයට සමන්තර ව ද කිසි ඊර්ය්යාපථයක් නො කෙරේ යනු: පඤ්චවිඥානයට සමන්තර වූ මනෝධාතුයෙනුදු යෑමක් වේවයි, සිටීමක් වේවයි, හිඳීමක් වේවයි, හොවීමක් වේවයි, කිසි ඊර්ය්යාපථයක් නො කෙරෙයි. පඤ්චවිඥානයෙන් නො ද කායකර්මය නො ද වාක්කර්මය පිහිටුවයි යනු: පඤ්චවිඥානයෙන් කායකර්මය නො පිහිටුවයි, වාක්කර්මය නො පිහිටුවයි. පඤ්චවිඥානයට සමන්තරව ද නො ද කායකර්මය නො ද වාක්කර්මය නො පිහිටුවයි යනු: පඤ්චවිඥානයට සමන්තර වූ මනෝධාතුයෙනුදු කායකර්මය නො පිහිටුවයි, වාක්කර්මය නො පිහිටුවයි. පඤ්චවිඥානයෙන් කුශලාකුශලධර්මය සමාදානය නො කෙරේ යනු: පඤ්චවිඥානයෙන් කුශලාකුශලධර්මසමාදානය නො කෙරේ. පඤ්චවිඥානයට සමනන්තර ව ද කුශලාකුශලධර්මසමාදානය නො කෙරේ යනු: පඤ්චවිඥානයට සමනන්තර වූ මනෝධාතුයෙනුදු කුශලාකුශලධර්මසමාදානය නො කෙරේ.
පඤ්චවිඥානයෙන් සමවතට නො පැමිණෙයි, සමවතින් නො නැඟේ යනු: පඤ්චවිඥානයෙන් සමවතට නො පැමිණෙයි. සමවතින් නො නැඟේ.
පඤ්චවිඥානයට සමන්තර ව ද සමවතට නො පැමිණෙයි, සමවතින් නො නැඟේ යනු: පඤ්චවිඥානයට සමනන්තර වූ මනෝධාතුයෙනුදු සමවතට නො පැමිණෙයි, සමවතින් නො නැඟේ.