9. නවක නිර්දෙශය
1. කවර පුද්ගලයෙක් ‘සම්යක් සම්බුද්ධ’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්මයන්හි තෙමේ සත්යයන් අවබෝධ කෙරේ. එහිදු සර්වඥත්වයට පැමිණේ, බලධර්මයන්හි දූ වශීභාවයට පැමිණේ. මේ පුද්ගල ‘සම්යක්සම්බුද්ධ’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘ප්රත්යෙකබුද්ධ’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්මයන්හි තෙමේ සත්යයන් අවබෝධ කෙරේ. එතෙකුදු වත් එහි සර්වඥභාවයට නො පැමිණෙයි, බලධර්මයන්හි වශීභාවයට ද නො පැමිණේ. මේ පුද්ගල ‘ප්රත්යෙකබුද්ධ’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘උභතොභාගවිමුක්ත’ වේ ද යත්: මෙලොව පුද්ගලයෙක් අෂ්ටවිමෝක්ෂයන් (නාම) කායයෙන් ස්පර්ශ කොට වෙසෙයි. (විදර්ශනා) ප්රඥායෙනුදු දැක ඔහු විසින් ආස්රවයෝ ක්ෂය කරන ලද්දාහු වෙති. මේ පුද්ගල ‘උභතොභාගවිමුක්ත’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘ප්රඥාවිමුක්ත’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් අෂ්ටවිමෝක්ෂයන් (නාම) කයින් ස්පර්ශ කොට නො මැ වෙසෙයි. එතෙකුදු වත්, ප්රඥායෙන් දැක ඔහු විසින් ආස්රවයෝ ක්ෂය කරන ලද්දාහු වෙති. මේ පුද්ගල ‘ප්රඥාවිමුක්ත’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘කායසාක්ෂී’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් අෂ්ටවිමෝක්ෂයන් කයින් ස්පර්ශ කොට වෙසෙයි. ප්රඥායෙනුදු දැක ඔහු විසින් ඇතැම් ආස්රවයෝ ක්ෂය කරන ලද්දාහු වෙති. මේ පුද්ගල ‘කායසාක්ෂී’ යැ යි කියනු ලැබේ.
කවර නම් පුද්ගලයෙක් ‘දෘෂ්ටිප්රාප්ත’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් මේ දුකැ යි ඇති සැටියෙන් දැනගනි. මේ දුක් උපදනා හේතු යැ යි ඇති සැටියෙන් දැනගනි. මේ දුක් නැති වීමැ යි ඇති සැටියෙන් දැනගනි. මේ දුක් නැති කිරීමට යන පිළිවෙතැ යි ඇති සැටියෙන් දැනගනි. තථාගතයන් වහන්සේ විසින් දන්නා ලද ධර්මයෝ ද මොහු විසින් ප්රඥාවෙන් මොනවට දක්නා ලදහ. මොනවට පිළිපදනා ලදහ. ප්රඥායෙනුදු දැක ඔහු විසින් ඇතැම් ආස්රවයෝ ක්ෂය කරන ලද්දාහු වෙති. මේ පුද්ගල තෙමේ ‘දෘෂ්ටිප්රාප්ත’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘ශ්රද්ධාවිමුක්ත’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් මේ දුකැ යි ඇති සැටියෙන් දැනගනි. ... මේ දුක් නැති කිරීමට යන පිළිවෙතැ යි ඇති සැටියෙන් දැනගනි. තථාගතයන් වහන්සේ විසින් ප්රවිදිත වූ ධර්මයෝ ද මොහු විසින් ප්රඥායෙන් මොනොවට දක්නා ලදහ. මොනොවට පිළිපදනා ලදහ. ප්රඥායෙනු දු දැක මොහු විසින් ඇතැම් ආස්රවයෝ ක්ෂය කරන ලද්දාහු වෙති. එතෙකුදු වත් දෘෂ්ටිප්රාප්තයා බඳු නො වේ, මේ පුද්ගල ‘ශ්රද්ධාවිමුක්ත’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘ධර්මානුසාරී’ වේ ද යත්: සෝවන් ඵලය සාක්ෂාත් කරනු පිණිස පිළිපන් යම් පුද්ගලයක්හුගේ ප්රඥේන්ද්රිය අධික වේ ද, ප්රඥාව විසින් ඔසවනසුලු වූයේ ප්රඥාපූර්වාඞ්ගම කොට ආර්ය්ය මාර්ගය වඩා ද මේ පුද්ගල ‘ධර්මානුසාරී’ යැ යි කියනු ලැබේ. සෝවන් ඵලය සාක්ෂාත් කරනු පිණිස පිළිපන් පුද්ගල ‘ධර්මානුසාරී’ යි. ඵලයෙහි සිටියේ ‘දෘෂ්ටිප්රාප්ත’ යි.
කවර පුද්ගලයෙක් ‘ශ්රද්ධානුසාරී’ වේ ද යත්: සෝතාපත්තිඵලය පසක් කරනුවට පිළිපන් යම් පුද්ගලයක්හුගේ ශ්රද්ධේන්ද්රිය අධික වේ ද ශ්රද්ධාව විසින් ඔසවනසුලු වූයේ ශ්රද්ධාපූර්වංගම කොට ආර්ය්යමාර්ගය වඩා ද මේ පුද්ගල ‘ශ්රද්ධානුසාරී’ යැ යි කියනු ලැබේ. සෝතාපත්තිඵලය සාක්ෂාත් කරනුවට පිළිපන් පුද්ගල ‘ශ්රද්ධානුසාරී’ යි. ඵලයෙහි සිටියේ ‘ශ්රද්ධාවිමුක්ත’ යි.
නවක නිර්දේශ නිමියේ යි.