නිර්දේශ වාරය
1. ඒකක නිර්‍දෙශය
1. කවර පුද්ගලයෙක් සමයවිමුක්ත වේ ද යත්: මේ (සත්ත්‍ව) ලෝකයෙහි එක් පුද්ගලයෙක් කලින් කලැ සමයෙන් සමයෙහි අෂ්ටවිමෝක්‍ෂයන් (රූපාරූප අෂ්ටසමාපත්තීන්) (නාම) කයින් ස්පර්‍ශ කොට වෙසෙයි, ඔහු විසින් ප්‍රඥායෙන් දැක ඇතැම් ආස්‍රව කෙනෙක් ක්‍ෂය කරන ලද්දාහු (විදර්‍ශනා ප්‍රඥායෙන් සංස්කාරයන් ද මාර්‍ගප්‍රඥායෙන් චතුස්සත්‍යධර්‍මයන් ද දැක යි සේ යි) මේ පුද්ගල තෙමේ සමයවිමුක්ත යැ යි කියනු ලැබේ.
2. කවර පුද්ගලයෙක් අසමය විමුක්ත වේ ද යත්: මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් කලින් කල සමයෙන් සමයෙහි අෂ්ටවිමෝක්‍ෂයන් කයින් ස්පර්‍ශ කොට නො මැ වෙසෙයි, එතෙකුදු වත් ඔහු විසින් ප්‍රඥායෙන් දැක ආස්‍රවයෝ ක්‍ෂය කරන ලද්දාහු වෙත්. මේ පුද්ගල අසමයවිමුක්ත යැ යි කියනු ලැබේ. සියලුම ආර්‍ය්‍ය පුද්ගලයෝ ලෝකෝත්තර විමෝක්‍ෂයෙහි අසමයවිමුක්තයෝ යි.
3. කවර පුද්ගලයෙක් කෝප්‍යධර්‍ම වේ ද යත්: මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසහගත (රූපාවචර) වූ හෝ අරූපසහගත (අරූපාවචර) වූ හෝ සමාපත්තීන් ලඛන සුලු වෙයි, එතෙකුදු වත් හෙතෙම කැමැති සේ ලබන්නේ නො වෙයි, නිදුකින් ලබන්නේ නො වෙයි, මහත් සේ ලබන්නේ නො වෙයි, කැමැති තැනෙක කැමැති සමවතකට කැමැති තාක් සමවදනේ ද, (ඉන්) නැඟෙන්නේ ද නො වෙයි, යම් ප්‍රමාදයකට පැමිණ ඒ පුඟුල්හුගේ ඒ සමාපත්තීහු නැසෙන්නාහු නම් තෙල කරුණ විද්‍යමාන වෙයි, මේ පුද්ගල කෝප්‍යධර්‍ම යැයි කියනු ලැබේ.
4. කවර පුද්ගලයෙක් අකෝප්‍යධර්‍ම වේ ද යත්: මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසහගත වූ හෝ අරූපසහගත වූ හෝ සමාපත්තීන් ලබනසුලු යැ, තවද හෙතෙමේ කැමැති සේ ලබන සුලු යැ, නිදුකින් ලබනසුලු යැ, මහත්සේ ලබනසුලු යි. කැමැති තැනෙක කැමැති සමවතකට කැමැති තාක් සමවදනේ ද (ඉන්) නැඟෙන්නේ ද වෙයි. යම් පමාවකට පැමිණ ඒ පුද්ගලයාගේ ඒ සමාපත්තීහු නැසෙන්නාහු නම් තෙල කරුණ නැත, එයට ඉඩ නැත්තේ යැ. මේ පුද්ගල අකෝප්‍ය ධර්‍ම යැ යි කියනු ලැබේ. සියලු මැ ආර්‍ය්‍ය පුද්ගලයෝ ආර්‍ය්‍යවිමෝක්‍ෂයෙහි අකෝප්‍යධර්‍මයෝ යි.
5. කවර පුද්ගලයෙක් පරිහාණධර්‍ම වේ ද යත්: මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසහගත වූ හෝ අරූපසහගත වූ හෝ සමාපත්තීන් ලබනසුලු වෙයි, එතෙකුදු වත් හෙතෙම කැමැති සේ ලබන්නේ නො වෙයි, නිදුකින් ලබන්නේ නො වෙයි, විපුල වැ ලබන්නේ නො වෙයි. කැමැති තැනෙක කැමැති සමවතකට කැමැති තාක් සමවදනේත් (ඉන්) නැඟෙන්නේත් නො වේ. යම් බඳු පමාවකට පැමිණ ඒ පුද්ගල ඒ සමාපත්තීන්ගෙන් පිරිහෙන්නේ නම් තෙල කරුණ විද්‍යමාන වේ. මේ පුද්ගල පරිහාණධර්‍ම යැ යි කියනු ලැබේ.
6. කවර පුද්ගලයෙක් අපරිහාණධර්‍ම නම් වේ ද යත්: මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් රූපසහගත වූ හෝ අරූපසහගත වූ හෝ සමාපත්තීන් ලබනසුලු යැ, තවද හෙතෙම කැමැති සේ ලබන සුලු වෙයි, නිදුකින් ලබනසුලු යැ. මහත් සේ ලබන සුලු යැ, කැමැති තැනෙක කැමැති සමවතකට කැමැති තාක් සමවදනේත් ඉන් නැඟෙන්නේත් වෙයි. යම් පමාවකට පැමිණ ඒ පුද්ගල ඒ සමාපත්තීන් කෙරෙන් පිරිහෙන්නේ නම් තෙල කරුණු නැත. එයට ඉඩ නැත, මේ පුද්ගල අපරිහාණ ධර්‍මය යි කියනු ලැබේ. සියලු මැ ආර්‍ය්‍යපුද්ගලයෝ ආර්‍ය්‍යවිමෝක්‍ෂයෙහි අපරිහාණ ධර්‍ම ඇත්තෝ යි.
7. කවර පුද්ගලයෙක් චේතනාභව්‍ය වේ ද යත්: මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් රූපසහගත වූ හෝ අරූපසහගත වූ හෝ සමාපත්තීන් ලබන සුලු වෙයි, එතෙකුදු වත් හෙතෙම කැමති සේ ලබන්නේ නො වෙයි. නිදුකින් ලබන්නේ නො වෙයි, මහත්සේ ලබන්නේ නො වේ, කැමැති තැනෙක කැමැති සමවතකට කැමැති තාක් සමවදනේත් ඉන් නැඟෙන්නේත් වෙයි. ඉදින් සමවදනේ නම් ඒ සමාපත්තීන් කෙරෙන් නො පිරිහෙයි, ඉදින් නො සමවදනේ නම් ඒ සමාපත්තීන් කෙරෙන් පිරිහෙයි. මේ පුද්ගල චේතනාභව්‍ය යැ යි කියනු ලැබේ.
8. කවර පුද්ගලයෙක් අනුරක්‍ෂණාභව්‍ය වේ ද යත්: මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් රූපසහගත වූ හෝ අරූපසහගත වූ හෝ සමාපත්තීන් ලබනසුලු වෙයි, එතෙකුදු වත් හෙතෙම කැමැති සේ ලබන්නේ නො වෙයි, නිදුකින් ලබන්නේ නො වෙයි, විපුල වැ ලබන්නේ නො වේ, කැමැති තැනෙක කැමැති සමවතකට කැමැති තාක් සමවදනේත් ඉන් නැඟෙන්නේත් නොවේ. ඉදින් රක්නේ නම් ඒ සමාපත්තීන් කෙරෙන් නො පිරිහෙයි, ඉදින් නො රක්නේ නම් ඒ සමාපත්තීන් කෙරෙන් පිරිහෙයි. මේ පුද්ගල අනුරක්‍ෂණාභව්‍ය යැ යි කියනු ලැබේ.