8. අෂ්ටක නිර්‍දෙශය
1. ඔවුනතුරෙහි චතුර්විධ මාර්‍ගයෙන් යුක්ත වූ, චතුර්විධ ඵලයෙන් යුක්ත වූ පුද්ගලයෝ කවරහ යත්:
සෝතාපන්න යැ සෝතාපත්තිඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ සකදාගාමී යැ සකදාගාමීඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ අනාගාමී යැ අනාගාමීඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ අර්‍හත් යැ අර්‍හත්ඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ (යන) මොහු චතුර්විධ මාර්‍ගයෙන් යුක්ත වූ චතුර්විධ ඵලයෙන් යුක්ත වූ පුද්ගලයෝ යි.
අෂ්ටක නිර්‍දෙශය නිමියේ යි.
9. නවක නිර්‍දෙශය
1. කවර පුද්ගලයෙක් ‘සම්‍යක් සම්බුද්ධ’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්‍මයන්හි තෙමේ සත්‍යයන් අවබෝධ කෙරේ. එහිදු සර්‍වඥත්‍වයට පැමිණේ, බලධර්‍මයන්හි දූ වශීභාවයට පැමිණේ. මේ පුද්ගල ‘සම්‍යක්සම්බුද්ධ’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘ප්‍රත්‍යෙකබුද්ධ’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්‍මයන්හි තෙමේ සත්‍යයන් අවබෝධ කෙරේ. එතෙකුදු වත් එහි සර්‍වඥභාවයට නො පැමිණෙයි, බලධර්‍මයන්හි වශීභාවයට ද නො පැමිණේ. මේ පුද්ගල ‘ප්‍රත්‍යෙකබුද්ධ’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘උභතොභාගවිමුක්ත’ වේ ද යත්: මෙලොව පුද්ගලයෙක් අෂ්ටවිමෝක්‍ෂයන් (නාම) කායයෙන් ස්පර්‍ශ කොට වෙසෙයි. (විදර්‍ශනා) ප්‍රඥායෙනුදු දැක ඔහු විසින් ආස්‍රවයෝ ක්‍ෂය කරන ලද්දාහු වෙති. මේ පුද්ගල ‘උභතොභාගවිමුක්ත’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘ප්‍රඥාවිමුක්ත’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් අෂ්ටවිමෝක්‍ෂයන් (නාම) කයින් ස්පර්‍ශ කොට නො මැ වෙසෙයි. එතෙකුදු වත්, ප්‍රඥායෙන් දැක ඔහු විසින් ආස්‍රවයෝ ක්‍ෂය කරන ලද්දාහු වෙති. මේ පුද්ගල ‘ප්‍රඥාවිමුක්ත’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘කායසාක්‍ෂී’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් අෂ්ටවිමෝක්‍ෂයන් කයින් ස්පර්‍ශ කොට වෙසෙයි. ප්‍රඥායෙනුදු දැක ඔහු විසින් ඇතැම් ආස්‍රවයෝ ක්‍ෂය කරන ලද්දාහු වෙති. මේ පුද්ගල ‘කායසාක්‍ෂී’ යැ යි කියනු ලැබේ.
කවර නම් පුද්ගලයෙක් ‘දෘෂ්ටිප්‍රාප්ත’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් මේ දුකැ යි ඇති සැටියෙන් දැනගනි. මේ දුක් උපදනා හේතු යැ යි ඇති සැටියෙන් දැනගනි. මේ දුක් නැති වීමැ යි ඇති සැටියෙන් දැනගනි. මේ දුක් නැති කිරීමට යන පිළිවෙතැ යි ඇති සැටියෙන් දැනගනි. තථාගතයන් වහන්සේ විසින් දන්නා ලද ධර්‍මයෝ ද මොහු විසින් ප්‍රඥාවෙන් මොනවට දක්නා ලදහ. මොනවට පිළිපදනා ලදහ. ප්‍රඥායෙනුදු දැක ඔහු විසින් ඇතැම් ආස්‍රවයෝ ක්‍ෂය කරන ලද්දාහු වෙති. මේ පුද්ගල තෙමේ ‘දෘෂ්ටිප්‍රාප්ත’ යැ යි කියනු ලැබේ.