7. සප්තක නිර්දෙශය
1. කෙසේ නම් පුද්ගල වරක් ගිලුණේ ගිලුණේ මැ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ඒකාන්තයෙන් කෘෂ්ණ වූ අකුශල ධර්මයන් ගෙන් යුක්ත වූයේ වෙයි. මෙසේ පුද්ගල වරක් ගිලුණේ ගිලුණේ මැ වේ.
කෙසේ නම් පුද්ගල ඉල්ප ගිලේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් කුශලධර්මයන්හි ශ්රද්ධාව මැනැවැ කුශලධර්මයන්හි හිරිය (ලජ්ජාව) මැනැවැ කුශලධර්මයන්හි ඔත්තප්පය (බිය) මැනැවැ කුශල ධර්මයන්හි වීර්ය්යය මැනැවැ කුශලධර්මයන්හි ප්රඥාව මැනැවැ යි ඉල්පෙයි. ඔහුගේ ඒ ශ්රද්ධාව නො මැ සිටියි, නො වැඩෙයි, පිරිහේ මැ යි. ඔහුගේ ඒ හිරිය නො මැ සිටියි, නො වැඩෙයි, පිරිහේ මැ යි. ඔහුගේ ඒ ඔත්තප්පය නො මැ සිටියි, නො වැඩෙයි, පිරිහේ මැ යි. ඔහුගේ ඒ වීර්ය්යය නො මැ සිටියි, නො වැඩෙයි, පිරිහේ මැ යි. ඔහුගේ ඒ ප්රඥාව නො මැ සිටියි, නො වැඩෙයි, පිරිහේ මැ යි මෙසේ පුද්ගල ඉල්පී ගිලේ.
කෙසේ නම් පුද්ගල ඉල්ප සිටියේ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් කුශලධර්මයන්හි ශ්රද්ධාව මැනැවැ කුශලධර්මයන්හි හිරිය මැනැවැ කුශලධර්මයන්හි ඔත්තප්පය මැනැවැ කුශලධර්මයන්හි වීර්ය්යය මැනැවැ කුශලධර්මයන්හි ප්රඥාව මැනැවැ යි ඉල්පෙයි. ඔහුගේ ඒ ශ්රද්ධාව නො මැ පිරිහෙයි, නො වැඩෙයි, සිටියා වෙයි. ඔහුගේ ඒ හිරිය නො මැ පිරිහෙයි, නො වැඩෙයි, සිටියා වෙයි. ඔහුගේ ඒ ඔත්තප්පය නො මැ පිරිහෙයි, නො වැඩෙයි, සිටියේ වෙයි. ඔහුගේ ඒ වීර්ය්යය නො මැ පිරිහෙයි, නො වැඩෙයි, සිටියේ වෙයි. ඔහුගේ ඒ ප්රඥාව නො මැ පිරිහෙයි, නො වැඩෙයි, සිටියා වෙයි. මෙසේ පුද්ගල ඉල්ප සිටියේ වේ.
කෙසේ නම් පුද්ගල ඉල්ප අවට දකී ද බලා ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් කුශලධර්මයන්හි ශ්රද්ධාවැ මැනැවැ කුශලධර්මයන්හි හිරිය මැනවැ කුශලධර්මයන්හි ඔත්තප්පය මැනැවැ කුශලධර්මයන්හි වීර්ය්යය මැනැවැ කුශලධර්මයන්හි ප්රඥාව මැනැවැ යි ඉල්පෙයි. හෙතෙම තුන් සංයෝජනයන්ගේ ක්ෂය වීමෙන් විනිපාතධර්ම (නිරයධර්ම) රහිත වූ නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝතාපන්නයෙක් වෙයි. මෙසේ පුද්ගල ඉල්ප අවට දකියි අවට බලයි.
කෙසේ නම් පුද්ගල ඉල්ප තරණය කෙරේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් කුශලධර්මයන්හි ශ්රද්ධාව මැනැවැ කුශලධර්මයන්හි හිරිය මැනවැ කුශලධර්මයන්හි ඔත්තප්පය මැනැවැ කුශලධර්මයන්හි වීර්ය්යය මැනැවැ කුශලධර්මයන්හි ප්රඥාව මැනැවැ යි ඉල්පෙයි. හෙතෙම තුන් සංයෝජනයන්ගේ ක්ෂය වීමෙන් රාග ද්වේෂ මෝහයන් තුනී කිරීමෙන් සකෘදාගාමි වෙයි. වරක් මැ මෙලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි. මෙසේ පුද්ගල ඉල්ප තරණය කෙරේ.
කෙසේ නම් පුද්ගල ඉල්ප නො ගැඹුරට (ප්රතිෂ්ඨාස්ථානයට) පැමිණියේ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් කුශලධර්මයන්හි ශ්රද්ධාව මැනැවැ කුශල ධර්මයන්හි හිරිය මැනැවැ කුශලධර්මයන්හි ඔත්තප්පය මැනැවැ කුශලධර්මයන්හි වීර්ය්යය මැනැවැ කුශලධර්මයන්හි ප්රඥාව මැනැවැයි ඉල්පෙයි. හෙතෙම පස්වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් ශුද්ධාවාසයෙහි උපදනේ එහි පිරිනිවෙන්නේ, එලොවින් පෙරළා නොඑන සුලු වූයේ වෙයි. මෙසේ පුද්ගල ඉල්ප නො ගැඹුරට පැමිණියේ වේ.
කෙසේ නම් පුද්ගල ඉල්ප තරණය කෙළේ, පරතෙරට ගියේ ‘ගොඩබිම සිටුනා බ්රාහ්මණ’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් කුශලධර්මයන්හි ශ්රද්ධාව මැනැවැ කුශලධර්මයන්හි හිරිය මැනැවැ කුශලධර්මයන්හි ඔත්තප්පය මැනැවැ කුශලධර්මයන්හි වීර්ය්යය මැනැවැ කුශලධර්මයන්හි ප්රඥාව මැනැවැයි ඉල්පෙයි. හෙතෙම ආස්රවයන් ක්ෂය කිරීමෙන් ආස්රව රහිත වූ ඵලසමාධිය, ඵලප්රඥාව මෙ අත් බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වෙසෙයි. මෙසේ පුද්ගල ඉල්ප තරණය කෙළේ පරතෙරට ගියේ ‘ගොඩබිම සිටුනා බ්රාහ්මණ’ වේ.
2. කවර පුද්ගලයෙක් ‘උභතොභාගවිමුක්ත’ වේ ද යත්: මෙ සස්නෙහි කිසි පුද්ගලයෙක් අෂ්ටවිමෝක්ෂයන් (නාම) කයින් ස්පර්ශ කොට වෙසෙයි. (විදර්ශනා) ප්රඥායෙනුදු දැක ඔහුගේ ආස්රවයෝ ක්ෂය වූවාහු වෙති, මේ පුද්ගල ‘උභතොභාගවිමුක්ත’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘ප්රඥා විමුක්ත’ ... ‘කායසාක්ෂි’ … ‘දෘෂ්ටිප්රාප්ත’ ... ‘ශ්රද්ධාවිමුක්ත’ ... ‘ධර්මානුසාරී’ වේ ද යත්: ... කවර පුද්ගලයෙක් ‘ශ්රද්ධානුසාරී’ වේ ද යත්: සෝතාපත්තිඵලය සාක්ෂාත් කරනු පිණිස පිළිපන් යම් පුද්ගලයක්හුගේ ශ්රද්ධේන්දියය අධික වේ ද ශ්රද්ධාව විසින් ඔසවනසුලු වූයේ ශ්රද්ධාපූර්වංගම වූ ආර්ය්යමාර්ගය වඩා ද, මේ තෙමේ ‘ශ්රද්ධානුසාරී’ පුද්ගලයා යි කියනු ලැබේ. සෝතාපත්තිඵලය සාක්ෂාත් කරනු පිණිස පිළිපන් පුද්ගල ‘ශ්රද්ධානුසාරී’ යැ ඵලයෙහි සිටියේ ‘ශ්රද්ධාවිමුක්ත’ යි.
සප්තක නිර්දේශ නිමියේ යි.