6. ෂට්ක නිර්දෙශය
1. ඔවුනතුරෙහි (ෂඩ්විධ පුද්ගලයන් අතුරෙහි) යම් පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්මයන්හි තෙමේ සත්යයන් අවබෝධ කෙරේ ද, එහි දු සර්වඥ භාවයට පැමිණේ ද, බලධර්මයන්හි දු වශීභාවයට පැමිණේ ද එකරුණින් (ඒ සබ්බඤ්ඤුත ඤාණයෙන්) සම්මා සම්බුදුන් වහන්සේ දත යුත්තාහ.
ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්මයන්හි තෙමේ සත්යයන් අවබෝධ කෙරේ ද, එතෙකුදු වත් එහි සර්වඥභාවයට නො පැමිණේ ද බලධර්මයන්හි වශීභාවයට නො ද පැමිණේ ද එකරුණින් (ඒ පච්චේක බෝධිඤාණයෙන්) පසේ බුදුන් වහන්සේ දතයුත්තාහ.
ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්මයන්හි තෙමේ සත්යයන් අවබෝධ කෙරේ ද, මෙ අත් බැව්හි මැ දුක් කෙළවර කෙරේ ද, ශ්රාවකපාරමිතාවටත් පැමිණේ ද, එකරුණින් (ඒ සාවක පාරමී ඤාණයෙන්) ශාරීපුත්ර - මෞද්ගල්යානයෝ දතයුත්තාහ.
ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්මයන්හි තෙමේ සත්යයන් අවබෝධ නො කෙරේ ද, මෙ අත් බැව්හි මැ දුක් කෙළවර කෙරේ ද, එතෙකුදු වත් ශ්රාවකපාරමිතාවට නො පැමිණේ ද එකරුණින් (දුක්ඛන්තකර ඤාණයෙන්) සෙසු රහත්හු දතයුත්තාහ.
ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්මයන්හි තෙමේ සත්යයන් අවබෝධ කෙරේ ද, එතෙකුදු වත් මෙ අත් බැව්හි මැ දුක් කෙළවර නො කෙරේ ද, එකරුණින් (අනාගාමි ඤාණයෙන්) මෙලොවට නො එන අනාගාමි දතයුත්තේ යි.
ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්මයන්හි තෙමේ සත්යයත් අවබෝධ නො කෙරේ ද, මෙ අත්බැව්හි මැ දුක් කෙළවර කරන්නේත් නො වේ ද, මේ අත් බවට එන්නේ ආගාමී වේ ද එකරුණින් (ආගාමී හෙයින්) සෝතාපන්න සකදාගාමීහු දතයුත්තාහ.
ෂට්ක නිර්දේශ නිමියේ යි.
7. සප්තක නිර්දෙශය
1. කෙසේ නම් පුද්ගල වරක් ගිලුණේ ගිලුණේ මැ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ඒකාන්තයෙන් කෘෂ්ණ වූ අකුශල ධර්මයන් ගෙන් යුක්ත වූයේ වෙයි. මෙසේ පුද්ගල වරක් ගිලුණේ ගිලුණේ මැ වේ.
කෙසේ නම් පුද්ගල ඉල්ප ගිලේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් කුශලධර්මයන්හි ශ්රද්ධාව මැනැවැ කුශලධර්මයන්හි හිරිය (ලජ්ජාව) මැනැවැ කුශලධර්මයන්හි ඔත්තප්පය (බිය) මැනැවැ කුශල ධර්මයන්හි වීර්ය්යය මැනැවැ කුශලධර්මයන්හි ප්රඥාව මැනැවැ යි ඉල්පෙයි. ඔහුගේ ඒ ශ්රද්ධාව නො මැ සිටියි, නො වැඩෙයි, පිරිහේ මැ යි. ඔහුගේ ඒ හිරිය නො මැ සිටියි, නො වැඩෙයි, පිරිහේ මැ යි. ඔහුගේ ඒ ඔත්තප්පය නො මැ සිටියි, නො වැඩෙයි, පිරිහේ මැ යි. ඔහුගේ ඒ වීර්ය්යය නො මැ සිටියි, නො වැඩෙයි, පිරිහේ මැ යි. ඔහුගේ ඒ ප්රඥාව නො මැ සිටියි, නො වැඩෙයි, පිරිහේ මැ යි මෙසේ පුද්ගල ඉල්පී ගිලේ.
කෙසේ නම් පුද්ගල ඉල්ප සිටියේ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් කුශලධර්මයන්හි ශ්රද්ධාව මැනැවැ කුශලධර්මයන්හි හිරිය මැනැවැ කුශලධර්මයන්හි ඔත්තප්පය මැනැවැ කුශලධර්මයන්හි වීර්ය්යය මැනැවැ කුශලධර්මයන්හි ප්රඥාව මැනැවැ යි ඉල්පෙයි. ඔහුගේ ඒ ශ්රද්ධාව නො මැ පිරිහෙයි, නො වැඩෙයි, සිටියා වෙයි. ඔහුගේ ඒ හිරිය නො මැ පිරිහෙයි, නො වැඩෙයි, සිටියා වෙයි. ඔහුගේ ඒ ඔත්තප්පය නො මැ පිරිහෙයි, නො වැඩෙයි, සිටියේ වෙයි. ඔහුගේ ඒ වීර්ය්යය නො මැ පිරිහෙයි, නො වැඩෙයි, සිටියේ වෙයි. ඔහුගේ ඒ ප්රඥාව නො මැ පිරිහෙයි, නො වැඩෙයි, සිටියා වෙයි. මෙසේ පුද්ගල ඉල්ප සිටියේ වේ.
කෙසේ නම් පුද්ගල ඉල්ප අවට දකී ද බලා ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් කුශලධර්මයන්හි ශ්රද්ධාවැ මැනැවැ කුශලධර්මයන්හි හිරිය මැනවැ කුශලධර්මයන්හි ඔත්තප්පය මැනැවැ කුශලධර්මයන්හි වීර්ය්යය මැනැවැ කුශලධර්මයන්හි ප්රඥාව මැනැවැ යි ඉල්පෙයි. හෙතෙම තුන් සංයෝජනයන්ගේ ක්ෂය වීමෙන් විනිපාතධර්ම (නිරයධර්ම) රහිත වූ නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝතාපන්නයෙක් වෙයි. මෙසේ පුද්ගල ඉල්ප අවට දකියි අවට බලයි.