5. පඤ්චක නිර්දෙශය
1. ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ඇවැතට පැමිණෙන්නේත් විපිළිසර වන්නේත් වේ ද, යම් තැනක ඔහුට උපන් ඒ ලාමක අකුශලධර්මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්රඥාවත් ඇති සැටියෙන් නො දනී ද හෙතෙම මෙසේ කියයුතු වන්නේ යැ. (කෙසේ ද.) “ආයුෂ්මතුන්ගේ ඇවැතට පැමිණීමෙන් හටගත් ආස්රවයෝ දක්නා ලැබෙත්. විපිළිසරයෙන් හටගත් ආස්රවයෝ ද වෙසෙසින් වැඩෙත්. ආයුෂ්මත් තෙමේ ඇවැතට පැමිණීමෙන් හටගත් ආස්රවයන් දුරු කොට විපිළිසරයෙන් හටගත් ආස්රවයන් ද බැහැර කොට සමාධියත් විදර්ශනාවත් වඩනු මැනැවි. මෙසේ ආයුෂ්මත් තෙල පස් වැනි (ක්ෂීණාස්රව) පුද්ගලයා හා සමසමයෙක් වන්නේ යැ” යි.
ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ඇවැතට පැමිණේ ද විපිළිසර නො වනසුලු වේ ද යම් තැනක ඔහුට උපන් ඒ ලාමක අකුශලධර්මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්රඥාවත් ඇති සැටියෙන් නො දනි ද, හෙතෙම මෙසේ කිය යුතු වන්නේ යැ, ආයුෂ්මතුන්ගේ ඇවැතට පැමිණීමෙන් හටගත් ආස්රවයෝ දක්නා ලැබෙත්. විපිළිසරයෙන් හටගත් ආස්රවයෝ නො වැඩෙත්. ආයුෂ්මත් ඇවැතට පැමිණීමෙන් හටගත් ආස්රවයන් දුරු කොට සමථයත් විදර්ශනාවත් වඩනු මැනවි. මෙසේ ආයුෂ්මත් තෙල පස් වැනි (ක්ෂීණාස්රව) පුද්ගලයා හා සමසමයෙක් වන්නේ යැ” යි.
ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ඇවැතට නො පැමිණේ ද, විපිළිසර වන්නේ ද, යම් තැනක ඔහුට උපන් ඒ ලාමක අකුශලධර්මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්රඥාවත් ඇති සැටියෙන් නො දනී ද, හෙතෙම මෙසේ කිය යුතු වන්නේ යැ, “ආයුෂ්මතුන්ගේ ඇවැතට පත්වීමෙන් හටගත් ආස්රවයෝ නො දක්නා ලැබෙත්. විපිළිසරයෙන් හටගත් ආස්රවයෝ වෙසෙසින් වැඩෙත්. ආයුෂ්මත් විපිළිසරයෙන් හටගත් ආස්රවයන් බැහැර කොට සමථ විදර්ශනා වඩනු මැනැවි. මෙසේ ආයුෂ්මත් තෙල පස්වැනි (ක්ෂීණාස්රව) පුද්ගලයා භා සමසමයෙක් වන්නේ යැ” යි.
ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ඇවැතට නො පැමිණේ ද, විපිළිසර නො වන්නේ ද යම් තැනක ඔහුට උපන් ඒ ලාමක අකුශලධර්මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්රඥාවත් ඇති සැටියෙන් නො දනි ද, හෙතෙම මෙසේ කිය යුතු වන්නේ යැ: “ආයුෂ්මතුන්ගේ ඇවැතට පැමිණීමෙන් හටගත් ආස්රවයෝ නොදක්නා ලැබෙත්. විපිළිසරයෙන් හටගත් ආස්රවයෝ නො වැඩෙත්. ආයුෂ්මත් සමථවිදර්ශනා වඩනු මැනැවි. මෙසේ ආයුෂ්මත් තෙමේ තෙල පස්වැනි (ක්ෂීණාස්රව) පුද්ගලයා හා සමසමයෙක් වන්නේ යැ යි මෙසේ මේ පුද්ගලයෝ සතරදෙන තෙල පස්වැනි (ක්ෂීණාස්රව) පුද්ගලයා විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු අනුක්රමයෙන් ආස්රවයන්ගේ ක්ෂය වීමට පැමිණෙත්.
2. කෙසේ පුද්ගල ‘දී අවසනැ අවමන් කෙරේ’ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් පුද්ගලයක් හට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර දෙයි. ඔහුට “මම දෙමි, මේ තෙමේ පිළිගනී” යන මෙ බඳු සිතෙක් වෙයි. ඒ මොහුට ‘දී’ අවමන් කෙරේ. මෙසේ පුද්ගල ‘දී අවමන් කෙරේ.’
කෙසේ නම් පුද්ගල ‘සංවාසයෙන් අවමන් කෙරේ’ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් පුද්ගලයකු සමග හවුරුදු දෙකක් හෝ තුනක් හෝ එක් වැ වෙසෙයි. ඒ මොහුට (ගරු සරු නො කිරීමෙන්) සහවාසයෙන් අවමන් කෙරේ. මෙසේ පුද්ගල ‘සහවාසයෙන් අවමන් කෙරේ.’
කෙසේ නම් පුද්ගල ‘ආධෙය්යමුඛ’ (පළමු වචනය තර වැ ගන්නේ) වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් අනෙකකුගේ ගුණයක් හෝ නුගුණයක් හෝ කියනු ලබන කල්හි වහා මැ හදහන්නේ වෙයි. මෙසේ පුද්ගල ‘ආධෙය්යමුඛ’ වේ.
කෙසේ නම් පුද්ගල ‘ලෝලයෙක්’ (සැලෙන්නේ) වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ‘හීනශ්රද්ධා’ ඇත්තේ, හීනභක්ති ඇත්තේ හීනප්රේම ඇත්තේ හීනප්රසාද ඇත්තේ වෙයි. මෙසේ පුද්ගල ‘ලෝලයෙක්’ වේ.
කෙසේ නම් පුද්ගල අඥානයෙක් මහාමූඪයෙක් වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් කුශලාකුශලධර්මයන් නො දනි. සාවද්ය නිරවද්ය ධර්මයන් නො දනි හීනප්රණීත ධර්මයන් නො දනී. සප්රතිභාග (අන්යෝන්ය ප්රතිවිරුද්ධ) වූ කෘෂ්ණශුක්ල ධර්මයන් නො දනි. මෙසේ පුද්ගල ‘අඥානයෙක් මහාමූඪයෙක්’ වේ.
3. එහි යුදසෙබළුන් බඳු පුද්ගලයෝ පස් දෙන කවරහ යත්: යුදසෙබළු පස් දෙනෙකි; මෙලොව යුදසෙබළෙක් ධූලිකඳ මතු දැක නවති, පසු බසී, දැඩි නො වෙයි, රණබිමට බස්නට නො හැකි වෙයි. මෙලොව මෙබඳු වූ ද යුද සෙබළෙක් වෙයි. මේ තෙමේ ලොවැ ඇති. විද්යමාන වූ පළමුවැනි යුද සෙබළා යි.
තවද අනෙකෙකි: මෙලොව එක් යුදසෙබළෙක් ධූලිකඳ ඉවසයි. එතෙකුදු වත් දද කෙළවර මතු දැක නවතී, පසුබසී, නො දැඩි වෙයි, රණබිමට බස්නට නො හැකි වෙයි. මෙහි මෙබඳු වූ ද කිසි යුද සෙබළෙක් වෙයි. මෙ තෙමේ ලොව ඇති දක්නා ලැබෙන දෙවැනි යුදසෙබළා යි.