4. චතුෂ්ක නිර්‍දෙශය
1. කවර පුද්ගලයෙක් අසත්පුරුෂ වේ ද යත්: මෙලොවැ කිසි පුද්ගලයෙක් ප්‍රාණීන් නසන්නේ වෙයි. නුදුන් දැය ගන්නේ වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නේ වෙයි. බොරු කියන්නේ වෙයි. රහමෙර පානයෙහි යෙදුණේ වේ. මේ පුද්ගල අසත්පුරුෂ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් අසත්පුරුෂයාට වඩා අතිශයින් අසත්පුරුෂ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් තෙමේත් ප්‍රාණීන් නසන්නේ වෙයි. අනුනුදු ප්‍රාණීන් නැසීමෙහි සමාදන් කරවයි. තෙමේත් නුදුන් දැය ගන්නේ වෙයි. අනුනුදු නුදුන් දැය ගැන්මෙහි සමාදන් කරවයි. තෙමේත් කාමයෙහි වරදවා හැසිරෙන්නේ වෙයි. අනුනුදු කාමයෙහි වරදවා හැසිරීමෙහි සමාදන් කරවයි. තෙමේත් බොරු කියන්නේ වෙයි. අනුනුදු බොරුකීමෙහි සමාදන් කරවයි. තෙමේත් රහමෙර පානයෙහි යෙදුණේ වෙයි. අනුනුදු රහමෙර පානයෙහි සමාදන් කරවයි. මේ පුද්ගල අසත්පුරුෂයාට වඩා අතිශයින් අසත්පුරුෂ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් සත්පුරුෂ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ප්‍රාණඝාතයෙන් වෙන් වූයේ වෙයි. නුදුන් දැය ගැන්මෙන් වෙන් වූයේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන් වූයේ වෙයි. මුසවා කීමෙන් වෙන් වූයේ වෙයි. රහමෙර පානයෙන් වෙන් වූයේ වේ. මේ පුද්ගල සත්පුරුෂ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් සත්පුරුෂයාට වඩා අතිශයින් සත්පුරුෂ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් තෙමේත් ප්‍රාණඝාතයෙන් වෙන් වූයේ වෙයි, මෙරමා ද ප්‍රාණඝාතයෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තෙමේත් නුදුන් දැය ගැන්මෙන් වෙන් වූයේ වෙයි. මෙරමා ද නුදුන් දැය ගැන්මෙන් වෙන් වීමෙහි සමාදන් කරවයි. තෙමේත් කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන් වූයේ වෙයි. මෙරමා ද කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන් වීමෙහි සමාදන් කරවයි. තෙමේත් මුසවා කීමෙන් වෙන් වූයේ වෙයි, මෙරමා ද මුසවා කීමෙන් වෙන් වීමෙහි සමාදන් කරවයි, තෙමේත් රහමෙර පානයෙහි ගැලීමෙන් වෙන් වූයේ වෙයි, මෙරමා ද රහමෙර පානයෙහි ගැලීමෙන් වෙන් වීමෙහි සමාදන් කරවයි. මේ පුද්ගල සත්පුරුෂයාට වඩා අතිශයින් සත්පුරුෂයා යි කියනු ලැබේ.
2. කවර පුද්ගලයෙක් පාපී වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ප්‍රාණීන් නසන්නේ වෙයි. නුදුන් දැය ගන්නේ වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නේ වෙයි. මුසවා කියන්නේ වෙයි. පෙහෙසුන් බස් (කේලාම්) කියන්නේ වෙයි. රළු වදන් කියන්නේ වෙයි. ප්‍රලාප (හිස් වදන්) කියන්නේ වෙයි. අනුන් අයත් දැය තමා සතු කරන රිසි ඇත්තේ වෙයි. මෙරමා නසන සිත් ඇත්තේ වෙයි. මිසදිටු වේ. මේ පුද්ගල පාපී (පව් ඇත්තේ) යයි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් පාපියාහට වඩා අතිශයින් පාපී වේදයත්: මෙලොව කිසි පුද්ගලයෙක් තෙමේත් ප්‍රාණීන් නසන්නේ වෙයි. මෙරමාත් ප්‍රාණීන් නැසීමෙහි සමාදන් කරවයි. තෙමේත් නුදුන් දැය ගන්නේ වෙයි. මෙරමාත් නුදුන් දැය ගැන්මෙහි සමාදන් කරවයි. තෙමේත් කාමයෙහි වරදවා හැසිරෙන්නේ වෙයි. මෙරමාත් කාමයෙහි වරදවා හැසිරීමෙහි සමාදන් කරවයි. තෙමේත් මුසවා කියන්නේ වෙයි. මෙරමාත් මුසවා කීමෙහි සමාදන් කරවයි. තෙමේත් පිසුනු බස් කියන්නේ වෙයි. මෙරමාත් පිසුනු වදන්හි සමාදන් කරවයි. තෙමේත් රළුවදන් කියන්නේ වෙයි. මෙරමාත් රළුවදන් කීමෙහි සමාදන් කරවයි. තෙමේත් සිස් තෙපුල් කියන්නේ වෙයි. මෙරමාත් සිස් තෙපුල් කීමෙහි සමාදන් කරවයි. තෙමේත් අන්සතු දෑ තමා සතු කරන රිසි ඇත්තේ වෙයි. මෙරමාත් අන්සතු දැය තමා සතු කරන රිසියෙහි සමාදන් කරවයි. තෙමේත් මෙරමා නසන සිත් ඇත්තේ වෙයි. මෙරමාත් මෙරමා නසන සිත්හි සමාදන් කරවයි. තෙමේත් මිසදිටු වෙයි. මෙරමාත් මිසදිටුයෙහි සමාදන් කරවයි. මේ පුද්ගල පාපියාට වඩා අතිශයින් පාපීය යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් කල්‍යාණ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ප්‍රාණඝාතයෙන් වැළැකුණේ වෙයි. නුදුන්දැය ගැන්මෙන් වැළැකුණේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළැකුණේ වෙයි. මුසවාකීමෙන් වැළැකුණේ වෙයි. පෙහෙසුන් බස් (කේලාම්) කීමෙන් වැළැකුණේ වෙයි. රළු වදන් කීමෙන් වැළැකුණේ වෙයි. හිස් වදන් කීමෙන් වැළැකුණේ වෙයි. අන්සතු දැය තමා සතු කරන රිසි නැත්තේ වෙයි. අනුන් නසන සිත් නැත්තේ වෙයි. සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වේ. මේ පුද්ගල කල්‍යාණය යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් කල්‍යාණයාට වඩා අතිශයින් කල්‍යාණ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් තෙමේත් ප්‍රාණඝාතයෙන් වැළැකුණේ වෙයි. මෙරමාත් ප්‍රාණඝාතයෙන් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේත් නුදුන් දය ගැන්මෙන් වැළැකුණේ වෙයි. මෙරමාත් නුදුන් දැය ගැන්මෙන් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේත් කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළැකුණේ වෙයි, මෙරමාත් කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේත් මුසවා කීමෙන් වැළැකුණේ වෙයි.