5. කවර පුද්ගලයෙක් උද්ඝටිතඥ වේ ද යත්: යම් පුද්ගලයකුට උදාහෘත වේලායෙහි ම (යම්තම් කරුණ නඟා දැක් වූ කල්හි ම යි සේයි) (චතුස්සත්‍ය) ධර්‍මාවබෝධය වේ ද, මේ පුද්ගල උද්ඝටිතඥය යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් විපඤ්චිතඥ (කරුණ විස්තර කළ කල්හි ම අරුත දන්නේ) වේ ද යත්: යම් පුද්ගලයකුට සැකෙවින් කියන ලද ධර්‍මයාගේ අර්‍ත්‍ථය විස්තරයෙන් විභාග කරනු ලබන කල්හි ම ධර්‍මාභිසමය වේ ද, මෙ බඳු පුද්ගල විපඤ්චිතඥ ය යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් නෙය්‍ය වේ ද යත්: යම් පුද්ගලයකු ට උදෙසීමෙන් පිළිවිසීමෙන් කරුණු වශයෙන් මෙනෙහි කිරීමෙන් කළණ මිතුරන් සේවනයෙන් භජනයෙන් ළංව ඇසුරු කිරීමෙන් මෙසේ අනුපිළිවෙළින් ධර්‍මාභිසමය වේ ද, මේ පුද්ගල තෙමේ නෙය්‍ය ය යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් පදපරම වේ ද යත්: බොහෝ කොට අසන්නා වූ ද බොහෝ කොට කියන්නා වූ ද බොහෝ කොට දරන්නා වූ ද බොහෝ කොට කියවන්නාවූද යම් පුද්ගලයෙකුට ඒ ආත්මභාවයෙහි ධර්‍මාභිසමය නො වේ ද මේ පුද්ගල පදපරම ය යි කියනු ලැබේ.
6. කවර පුද්ගලයෙක් යුත්තපටිභාන වූයේ (සාර්‍ත්‍ථක සකාරණ වචන ඇත්තේ) මුත්තපටිභාන (වහා පිළිතුරු දෙන්නේ) නො වූයේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් ප්‍රශ්නය විචාරන ලදුයේ සාර්‍ත්‍ථක සකාරණ කොට කියයි. ශීඝ්‍ර ව නො කියයි. මේ පුද්ගල මුත්තපටිභාන නො වූ යුත්තපටිභාන යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් යුත්තපටිභාන නො වූ මුත්තපටිභාන වූයේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් ප්‍රශ්නය විචාරන ලද්දේ වහා පිළිතුරු දෙයි, සාර්‍ත්‍ථක සකාරණ කොට පිළිතුරු නො දෙයි. මේ පුද්ගල යුක්තපටිභාන නො වූ මුක්තපටිභාන යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් යුත්තපටිභානත් මුත්තපටිභානත් වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් ප්‍රශ්නය විචාරන ලද්දේ සාර්‍ත්‍ථක සකාරණ කොට ද පිළිතුරු දෙයි වහ වහා පිළිතුරු දෙයි. මේ පුද්ගල යුත්තපටිභානත් මුත්තපටිභානත් වූයේ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් යුත්තපටිභාන නො වූයේ ම මුත්තපටිභානත් නො වූයේ වේ ද යත්: මෙලොව එක් පුඟුලෙක් පැන පුළුවුස්නා ලද්දේ සාර්‍ත්‍ථක සකාරණ කොට නො ම කියයි, යුහු වැ ද නො කියයි. මේ පුද්ගල යුත්තපටිභාන නො වූයේ ම මුත්තපටිභාන නො වූයේ යි කියනු ලැබේ.
7. එහි ධර්‍මකථික පුද්ගලයෝ සතර දෙන කවරහු ද යත්: ධර්‍ම කථිකයෝ සතර දෙනෙකි - මෙලොව එක් ධර්‍මකථිකයෙක් මඳක් ද කියයි. නිරර්‍ත්‍ථක නිෂ්කාරණ දැයක් ද කියයි, ඔහුගේ පිරිස ද සාර්‍ත්‍ථක නිරර්‍ත්‍ථක බව දැනුමට නො සමත් වෙයි. මෙ බඳු ධර්‍මකථික මෙ බඳු පිරිසෙහි ධර්‍මකථික යන සංඛ්‍යාවට යෙයි. තව ද මෙහි එක් ධර්‍ම කථිකයෙක් ස්වල්ප වූත් සාර්‍ත්‍ථක සකාරණ වූත් දැයක් කියයි, ඔහුගේ පිරිස ද සාර්‍ත්‍ථක නිරර්‍ත්‍ථක බව දැනුමට සමත් වෙයි, මෙ බඳු ධර්‍මකථික තෙමේ මෙ බඳු පිරිසෙහි ධර්‍මකථික යන සංඛ්‍යාවට යෙයි. තව ද මෙහි එක් ධර්‍මකථිකයෙක් බොහෝ වූත් නිරර්‍ත්‍ථක නිෂ්කාරණ වූ ත් දැයක් කියයි. ඔහුගේ පිරිස ද සාර්‍ත්‍ථක සකාරණ නිරර්‍ත්‍ථක නිෂ්කාරණ බව දැනුමට නො සමත් වෙයි, මෙ බඳු ධර්‍මකථික තෙමේ මෙ බඳු පිරිසෙහි ධර්‍මකථික යන සංඛ්‍යාවට යෙයි. තව ද මෙහි එක් ධර්‍ම කථිකයෙක් බොහෝ වූ ත් සාර්‍ත්‍ථක සකාරණ වූ ත් දැයක් කියයි, ඔහුගේ පිරිස ද සාර්‍ත්‍ථක සකාරණ නිරර්‍ත්‍ථක නිෂ්කාරණ බව දැනුමට සමත් වෙයි. මෙබඳු ධර්‍මකථික තෙමේ මෙ බඳු පිරිසෙහි ධර්‍මකථික යන සංඛ්‍යාවට යෙයි. මොහු ධර්‍මකථික පුද්ගලයෝ සතර දෙනා යි.