3. ත්‍රික නිර්‍දෙශය
1. කවර පුද්ගලයෙක් ‘නිරාස’ (ආශා නැත්තේ) වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් දුශ්ශීලයෙක් ලාමක ස්වභාව ඇත්තෙක් අපිරිසුදු කායකර්‍මාන්තාදිය ඇත්තෙක් සැකයෙන් සිහිකළයුතු පැවැතුම් ඇත්තෙක් සැඟවිය යුතු ක්‍රියා ඇත්තෙක් ශ්‍රමණ ප්‍රතිරූපක ව ‘ශ්‍රමණයෙමි’ යි ප්‍රතිඥා කරන්නෙක් බ්‍රහ්මචාරී ප්‍රතිරූපක ව ‘බ්‍රහ්මචාරීයෙමි’ යි ප්‍රතිඥා කරන්නෙක් ඇතුළත කුණු වූයෙක් රාගාදීන් තෙත් වූයෙක් හට ගත් රාගාදි කසළ ඇත්තෙක් වේ ද, හෙතෙම “මෙ නම් මහණ ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය මෙ අත්බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාස කරන්නේ ල” යි අසයි. ඔහුට “කවරදා නම් මම ද ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් නිරාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය මෙ අත්බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන සාක්‍ෂාත් කොට ඊට පැමිණ වාස කරන්නෙම් දැ” යි මෙ බඳු සිතෙක් නො වෙයි. මේ පුද්ගල ‘නිරාස’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘ආසංස’ (ප්‍රාර්‍ත්‍ථනා ඇත්තේ) වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් සිල්වතෙක් යහපත් ධර්‍ම ඇත්තෙක් වේ ද, හෙතෙම “මෙ නම් මහණ ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිත වූ චිත්ත විමුක්තිය ප්‍රඥාවිමුක්තිය මෙ අත්බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන සාක්‍ෂාත් කොට ඊට පැමිණ වාස කරන්නේ ල” යි අසයි. ඔහුට ‘කවරදා නම් මම ද ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් නිරාස්‍රව වූ චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය මෙ අත්බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන සාක්‍ෂාත් කොට ඊට පැමිණ වාස කරන්නෙම් දැ” යි මෙ බඳු සිතෙක් වෙයි. මේ පුද්ගල ‘ආසංස’ යැයි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘විගතාස’ (පහ වූ ආසා ඇත්තේ) වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය මෙ අත් බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කෙරේ ද, හෙතෙම “මෙ නම් මහණ ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥා විමුක්තිය මෙ අත් බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාස කරන්නේ ල” යි අසයි. ඔහුට “කවරදා නම් මම ද ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය මෙ අත්බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාස කරන්නෙම්දැ” යි මෙ බඳු සිතෙක් නො වෙයි. ඒ කවර හෙයින යත්: යම් හෙයකින් පෙර විමුක්තියට නො පත් මොහුගේ යම් විමුක්ති ආශාවක් වූ නම් ඒ ආශාව සන්හිඳුණි ද එහෙයිනි. මෙ බඳු පුද්ගල ‘විගතාස’ යැ යි කියනු ලැබේ.
2. එහි ගිලනුන්ට බඳු පුද්ගලයෝ තිදෙනා කවරහු ද යත්: ගිලන්නු තිදෙනෙකි. මෙලොව එක් ගිලනෙක් පථ්‍ය වූ භෝජනයන් ලබන්නේ හෝ පථ්‍ය වූ භෝජනයන් නො ලබන්නේ හෝ පථ්‍ය වූ බෙහෙත් ලබන්නේ හෝ පථ්‍ය වූ බෙහෙත් නො ලබන්නේ හෝ සුදුසු උපස්ථායකයකු ලබන්නේ හෝ සුදුසු උපස්ථායකයකු නො ලබන්නේ හෝ ඒ ආබාධයෙන් නො නැඟෙන්නේ මැ යි. යළි මෙහි එක් ගිලනෙක් පථ්‍ය වූ භෝජනයන් ලබන්නේ හෝ පථ්‍ය වූ භෝජනයන් නො ලබන්නේ හෝ පථ්‍ය වූ බෙහෙත් ලබන්නේ හෝ පථ්‍ය වූ බෙහෙත් නො ලබන්නේ හෝ සුදුසු උපස්ථායකයකු ලබන්නේ හෝ සුදුසු උපස්ථායකයකු නො ලබන්නේ හෝ ඒ ආබාධයෙන් නැඟීසිටියි. තව ද මෙහි එක් ගිලනෙක් පථ්‍ය වූ භෝජනයන් ලබන්නේ මැ (රොවින් නැඟී සිටියි) නොලබන්නේ (නො නැඟී සිටියි) පථ්‍ය වූ බෙහෙත් ලබන්නේ මැ (රොවින් නැඟී සිටියි) නො ලබන්නේ (නො නැඟී සිටියි) සුදුසු උපස්ථායකයකු ලබන්නේ මැ නැඟීසිටියි, නො ලබන්නේ ඒ ආබාධයෙන් නො නැඟී සිටියි. ඔවුනතුරෙහි යම් මේ ගිලනෙක් පථස වූ භෝජනයන් නො ලබන්නේ නො වැ ලබන්නේ මැ පථ්‍ය වූ බෙහෙත් නො ලබන්නේ නො වැ ලබන්නේ මැ සුදුසු උපස්ථායකයකු නො ලබන්නේ නො වැ ලබන්නේ මැ ඒ ආබාධයෙන් නැඟී සිටී ද, මේ ගිලනා සඳහා ගිලන් බත් අනුදන්නා ලදී. ගිලන් බෙහෙත් අනුදන්නා ලදී. ග්ලානෝපස්ථායකයෙක් අනුදන්නා ලද්දේ යි. තව ද මේ ගිලනා නිසා සෙසු ගිලන්හු ද උපස්ථාන කළ යුත්තාහ.
මෙසේ මැ ලෝකයෙහි ඇත්තා වූ විද්‍යමානවූ ‘ගිලානෝපම පුද්ගලයෝ තිදෙනෙක්’ වෙති: කවර තිදෙනෙක් ද යත්: මෙලොව, එක් පුද්ගලයෙක් තථාගතයන් වහන්සේ දක්නට ලබන්නේ හෝ තථාගතයන් වහන්සේ දක්නට නො ලබන්නේ හෝ තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කළධර්‍ම විනය අසන්නට ලබන්නේ හෝ තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කළ ධර්‍ම විනය අසන්නට නො ලබන්නේ හෝ කුශල ධර්‍මයන්හි නියාම ය යි කියන ලද ආර්‍ය්‍යමාර්‍ගයට නො පිවිසේ මැ යැ. යළි මෙහි එක් පුද්ගලයෙක් තථාගතයන් වහන්සේ දක්නට ලබන්නේ හෝ තථාගතයන් වහන්සේ දක්නට නො ලබන්නේ හෝ තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කළ ධර්‍ම විනය අසන්නට ලබන්නේ හෝ තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කළ ධර්‍ම විනය අසන්නට නො ලබන්නේ හෝ කුශලධර්‍මයන්හි නියාම යැ යි කියන ලද ආර්‍ය්‍ය මාර්‍ගයට පිවිසෙයි. යළි මෙහි එක් පුද්ගලයෙක් තථාගතයන් වහන්සේ දක්නට නො ලබන්නේ නො වැ ලබන්නේ මැ තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කළ ධර්‍ම - විනය අසන්නට නො ලබන්නේ නො වැ ලබන්නේ මැ කුශල ධර්‍මයන්හි නියාමය යි කියන ලද ආර්‍ය්‍යමාර්‍ගයට පිවිසෙයි. ඔවුනතුරෙහි යම් මේ පුද්ගලයෙක් තථාගතයන් වහන්සේ දක්නට නො ලබන්නේ නො වැ ලබන්නේ මැ තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කළ ධර්‍ම විනය අසන්නට නො ලබන්නේ නො වැ ලබන්නේ මැ කුශල ධර්‍මයන්හි නියාම යැ යි කියන ලද ආර්‍ය්‍ය මාර්‍ගයට පිවිසේ ද, මේ පුද්ගලයා උදෙසා භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් දෙසීම අනුදන්නා ලදී. තව ද මේ පුද්ගලයා උදෙසා අන්‍යයන්ට ද දහම් දෙසිය යුතු යැ. මොහු තිදෙනා ලෝකයෙහි ඇති විද්‍යමාන වූ ‘ගිලානෝපම පුද්ගලයෝ’ යි.