2. ද්වික නිර්‍දෙශය
1. කවර පුද්ගලයෙක් ‘කොධන’ වේ ද යත්: එහි ක්‍රෝධය කව රේ ද: යම් ක්‍රෝධයෙක් කිපීමක් කිපුණු බවක් ද්වේෂයෙක් දූෂ්‍ය වීමක් දූෂිත බවක් විකෘතියක් විකෘත වීමක් විකෘත වූ බවක්, විරෝධයෙක් පුනපුනා විරෝධයෙක් සැඩ බවක්, වචනයාගේ අසම්පූර්‍ණ බවක් චිත්තයාගේ නො සතුටු බවක් වේ ද මේ ක්‍රෝධය යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ ක්‍රෝධය ප්‍රහීණ නො වූයේ ද, මෙබඳු පුද්ගල ‘කොධන’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘උපනාහී’ වේ ද යත්: එහි ‘උපනාහය’ කවරේ ද: පූර්‍වකාලය ක්‍රෝධය යි, අපරාකාලය ‘උපනාහය’ (බද්ධ වෛරය) යි. යම් මෙබඳු බද්ධ වෛරයෙක් වෙරබැඳීමක් බද්ධවෛර වූ බවක්, ක්‍රෝධය නඟා සිටුවීමක්, හිඳුවීමක් මොනවට හිඳුවීමක් සැසැඳීමක් ලුහු බැඳීමක් දැඩි කිරීමක් වේ ද, මේ ‘උපනාහ’ යැ යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ උපනාහය ප්‍රහීණ නො වූයේ ද, මේ පුද්ගල උපනාහී යැ යි කියනු ලැබේ.
2. කවර පුද්ගලයෙක් ‘මක්ඛී’ වේ ද යත්: එහි ‘මක්ඛය’ කවරේ ද: යම් ගුණමකුවක් ගුණ මැකීමක් ගුණමකු බවක් නිර්දයාවක් නිර්දය කමක් වේ ද මේ මක්ඛ යැ යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ ‘මක්ඛය’ ප්‍රහීණ නො වූයේ ද මේ පුද්ගල ‘මක්ඛී’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘පලාසී’ වේ ද යත්: එහි ‘පලාසය’ කවරේ ද: යම් සමවලායෙක් සමවලායෙහි පැවැත්මක් සමවලා පැවැතුම් ඇති බවක් සමවලා එළවීමක් විවාදයට කරුණක් යුගග්‍රාහයෙක් නො හැරපීමෙක් වේ ද මේ ‘පලාස’ යැයි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ පලාසය ප්‍රහීණ නො වූයේ ද මේ පුද්ගල ‘පලාසී’ යැ යි කියනු ලැබේ.
3. කවර පුද්ගලයෙක් ‘ඉස්සුකී’ (ඊර්‍ෂ්‍යා ඇත්තේ) වේ ද යත්: එහි ‘ඊර්‍ෂ්‍යා’ කවර යත්: අනුන්ගේ ලාභ සත්කාර ගරුකාර වන්‍දන මානන පූජනයන්හි යම් ඊර්‍ෂ්‍යාවක් ඊර්‍ෂ්‍යාවෙහි පැවැත්මක් ඊර්‍ෂ්‍යා පැවැතුම් ඇති බවක් දොස්පාළ කිරීමක් දොස් පාළකිරීමේ පැවැත්මක් දොස් පාළ කිරීමේ පැවැතුම් ඇති බවක් වේ ද මේ ඊර්‍ෂ්‍යා යැ යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ ඊර්‍ෂ්‍යායාව ප්‍රහීණ නො වූ වා ද මේ පුද්ගල ‘ඉස්සුකී’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘මච්ඡරී’ (මසුරු බව ඇත්තේ) වේ ද යත්: එහි මච්ඡරිය (යනු) කවරේ ද: මාත්සර්‍ය්‍යයෝ පස් දෙනෙකි - ආවාසමාත්සර්‍ය්‍ය යැ, කුලමාත්සර්‍ය්‍ය යැ, ලාභමාත්සර්‍ය්‍ය යැ, වර්‍ණමාත්සර්‍ය්‍ය යැ, ධර්‍මමාත්සර්‍ය්‍ය යැ යි යම් මෙබඳු මසුරු බවක් මසුරු බැව්හි පැවැත්මක් මසුරු බැව්හි පැවැතුම් ඇති බවක් හැම සැපත් අයත් කොට ගැන්මක් තද මසුරු බවක් කටුක ලෙස සිත හකුළාලන බවක් දීමෙහි සිත් නො ගත් බවක් වේ ද මේ ‘මච්ඡරිය’ යැ යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ මච්ඡරිය ප්‍රහීණ නො වූයේ ද මේ පුද්ගල ‘මව්ඡරි’ යැ යි කියනු ලැබේ.
4. කවර පුද්ගලයෙක් සඨ (කෛරාටික) වේ ද යත්: එහි ‘සඨ’ බව කවරේ ද: මෙලොව එක් පුද්ගලයෙක් කෛරාටිකයෙක් අතිශය කෛරාටිකයෙක් වෙයි. එහි යම් කපටයක් සඨතාවක් කෛරාටික බවක් කර්‍කශතාවක් රළු බවක් තරයේ සිටුවන ලද්දක් වැනි බවක් වේ ද මේ සාඨෙය්‍ය යැ යි කියනු ලැබේ. යම් පුද්ගලයක්හුගේ මේ සාඨෙය්‍යය ප්‍රහීණ නො වූයේ ද, මේ පුද්ගල ‘සඨ’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘මායාවී’ (මායා ඇත්තේ) වේ ද යත්: එහි ‘මායාව’ කවර යත්: මෙලොවැ එකෙක් කයින් දුසිරිතෙහි හැසිර වචනයෙන් දුසිරිතෙහි හැසිර සිතින් දුසිරිතෙහි හැසිර එය වසාලනු පිණිස ලාමක අපේක්‍ෂාවක් පිහිටුවයි. මා (පවිටකු ලෙස) නො දනීව යි අපේක්‍ෂා කරයි. ‘මා නො දනීවා’ යි සලකයි. ‘මා නො දනීවා’ යි වචන කියයි. ‘මා නො දනීව’ යි කයින් වෑයම් කරයි. මෙබඳු වූ යම් මායාවක් මායා ඇති බවක් වරද ඉක්මවා යෑමෙක් වඤ්චනයක් නිකෘතියක් නිකිරණයක් බැහැර කිරීමක් සැඟවීමක් හාත්පසින් සැඟවීමක් වැසීමක් හාත්පසින් වැසීමක් එළිදරව් නො කිරීමක් රහස්කමක් පව්කම් වසාලන බවක් පව්කමක් වේ ද, මේ ‘මායා’ යැ යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ මායාව ප්‍රහීණ නො වූවා ද මේ පුද්ගල ‘මායාවී’ යැයි කියනු ලැබේ.
5. කවර පුද්ගලයෙක් ‘අහිරික’ වේ ද යත්: එහි අහිරිකය කවරේ ද: ‘ලජ්ජා විය යුත්තෙන් ලජ්ජා නො වේ’ යන යමක් වේ ද, ‘ලාමක වූ අකුශල ධර්‍මයන්ට පැමිණීමෙන් ලජ්ජා නො වේ’ යන යමක් වේ ද මේ ‘අහිරික’ යැ යි කියනු ලැබෙයි. මේ අහිරිකයෙන් යුක්ත වූ පුද්ගල ‘අහිරික’ නම් වේ.
කවර පුද්ගලයෙක් ‘අනොත්තප්පී’ නම් වේ ද යත්: එහි ‘අනපත්‍රපා’ කවර යත්: ‘පාපභීරුතායෙන් නො තැවේ’ යන යමක් ඇද්ද ‘ලාමක වූ අකුශලධර්‍මයන්ට පැමිණීමෙන් නො තැවේ’ යන යමක් ඇද්ද, මේ අනපත්‍රපා යැ යි කියනු ලැබෙයි. මේ අනපත්‍රපායෙන් යුක්ත වූ පුද්ගල ‘අනෝත්තප්පී’ නම් වේ.
6. කවර පුද්ගලයෙක් ‘දුබ්බව’ වේ ද යත්: එහි දුර්වචස්ක බව කවරේ ද: ශික්‍ෂාපදය කියනු ලබන කල්හි දුර්වචස්ක බවක් දුර්වච කමක් නො පිළිගැන්විය හැකි බවක් ප්‍රතිපක්‍ෂය ගන්නා බවක් විපක්‍ෂයෙහි මධුරත්වයක් අනාදරබවක් අනාදර ආකාරයක් අගෞරව බවක් නිරාශ්‍රය බවක් වේ ද, මේ දුර්වච බව යැ යි කියනු ලැබේ. එයින් යුක්ත වූ පුද්ගල දුර්වච නම් වේ.