17. කවර පුද්ගලයෙක් ‘ඉන්‍ද්‍රියයන්හි වසන ලද දොර ඇත්තේ’ ද යත්: එහි ‘ඉන්‍ද්‍රියයන්හි වසන ලද දොර ඇති බව’ කවරේ ද: මෙලොව එකෙක් ඇසින් රූපයක් දැක නිමිතිගන්නේ නො වෙයි, අනුව්‍යඤ්ජන ගන්නේ නො වෙයි, යම් හෙයකින් මේ චක්‍ෂුරින්‍ද්‍රියය සංවරණය නො කොට වසන්නාහු අභිධ්‍යා දෞර්‍මනස්‍ය යන ලාමක වූ අකුශල ධර්‍මයෝ ලුහු බඳනාහු ද ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදියි, චක්‍ෂුරින්‍ද්‍රියය රකියි, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. කණින් ශබ්දයක් අසා නැහැයෙන් ගඳක් අඝා – දිවින රසයක් විඳ - කයින් පහසක් විඳ – මනසින් ධර්‍මාරම්මණයක් දැන නිමිති ගන්නේ නො වෙයි, අනුබ්‍යඤජන ගන්නේ නො වෙයි. යම් හෙයකින් මනින්‍ද්‍රියය අසංවෘත ව වසන්නා වූ මොහු අභිධ්‍යා දෞර්‍මනස්‍ය යන ලාමක වූ අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහු නම් ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදියි, මනින්‍ද්‍රියය රකියි, මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. මේ ඉඳුරන් සදෙනාගේ යම් ගුත්තියක් ගෝපනයක් ආරක්‍ෂාවක් සංවරයක් වේ ද, මේ ‘ඉඳුරන්හි වසන ලද දොර ඇති බව’ යැ යි කියනු ලැබේ. මේ ඉඳුරන්හි වසන ලද දොර ඇති බැවින් යුක්ත වූ පුද්ගල තෙමේ ‘ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාර’ නම් වේ.
කවර පුද්ගලයෙක් ‘වැළඳීමෙහි පමණ දන්නේ’ වේ ද යත්: එහි ‘වැළඳීමෙහි පමණ දන්නා බව’ කවරේ ද: මෙලොව එක් පුද්ගලයෙක් ප්‍රත්‍යවේක්‍ෂා කොට නුවණින් අහර වළඳයි. ‘ක්‍රීඩා පිණිස නො වේ මැ යැ, මද පිණිස නො වේ මැ යැ, සිරුර සරසනු පිණිස නො වේ මැ යැ, සිරුරු මසෙහි අලංකාරය පිණිස නො වේ මැ යි, හුදෙක් මේ ශරීරයාගේ පැවැත්ම පිණිස යැ, යැපීම පිණිස යැ, සාදුක් නිවනු පිණිස යැ, බඹසරට අනුග්‍රහ පිණිස යැ, මෙසේ පැරැණි (සාදුක්) වේදනාවත් නසන්නෙමි, (අධික භෝජන හේතුවින් වන) නව වේදනාවත් නො උපදවන්නෙමි, ජීවිතයාත්‍රාවත් නිරවද්‍යතාවත් ඵාසුවිහරණයත් වන්නීය යි, ඒ ප්‍රත්‍යවේක්‍ෂා කොට වැළඳීමෙහි යම් සතොස් බවක් පමණ දන්නා බවක් වේ ද, මේ ‘භෝජනයෙහි පමණ දන්නා බව’ යැ යි කියනු ලැබේ. මේ වැළඳීමෙහි පමණ දන්නා බැවින් යුක්ත වූ පුද්ගල තෙමේ ‘වැළඳීමෙහි පමණ දන්නේ’ යි.
18. කවර පුද්ගලයෙක් ‘එළඹ සිටි සිහි ඇත්තේ’ වේ ද යත්: එහි ‘සති’ යනු කවර යත්: යම් සිහියක් අනුස්මෘතියක් ප්‍රතිස්මෘතියක් සඳහනෙක් ධාරණය වන බවෙක් (අරමුණෙහි) කිඳෙන බවෙක් මුළා නො වන බවෙක් ස්මෘතින්‍ද්‍රියයක් සතිබලයක් සම්මාසතියක් වන්නී ද මේ ‘සති’ යැ යි කියනු ලැබේ. මේ සතියෙන් යුක්ත වූ පුද්ගල තෙමේ ‘එළඹ සිටි සිහි ඇත්තේ’ යි.
කවර පුද්ගලයෙක් ‘සම්පජාන’ වේ ද යත්: එහි ‘සම්පජාන’ බව කවරේ ද යත්: යම් ප්‍රකර්‍ෂඥානයක් ප්‍රකාරයෙන් දනුමක් (අනිත්‍යාදිය) විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් සිව්සස් දම් විමසීමෙක් (අනිත්‍යාදිය) සැලකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පණ්ඩිත බවෙක් කුශල බවෙක් නිපුණ බවෙක් (අනිත්‍යාදිය) සැලකීමෙක් චින්තාවක් උප්පරීක්‍ෂාවක් පුළුල් දැනුමෙක් ධාරණ ප්‍රඥාවෙක් පමුණුවන නුවණෙක් විදර්‍ශනාවක් මැනැවින් දන්නා බවෙක් පතෝදය වැනි නුවණෙක් ප්‍රඥාවක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥාඅවභාසයෙක් ප්‍රඥාප්‍රදීපයෙක් ප්‍රඥාරත්නයක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යක්දෘෂ්ටියක් වේ ද, මේ ‘සම්පජාන’ බව යැ යි, කියනු ලැබේ. මේ සම්පජාන බැවින් යුත් පුද්ගල තෙමේ ‘සම්පජාන’ නම් වේ.
19. කවර පුද්ගලයෙක් ‘සීලසම්පන්න’ වේ ද යත්: එහි ‘සීල සම්පදාව’ කවර යත්: කායික අව්‍යතික්‍රමයෙක් වාචසික අව්‍යතික්‍රමයෙක් කායික වූ ත් වාචසික වූ ත් අව්‍යතික්‍රමයෙක් වේ ද මේ ‘සීලසම්පදා’ යැ යි කියනු ලැබේ, සියලු ම ශීල සංවරය ‘සීලසම්පදා’ යි. මේ සීලසම්පදායෙන් යුත් පුද්ගල තෙමේ ‘සීලසම්පන්න’ නම් වේ.