23. 4.
පතිරූප කථා
[මෛත්‍රී කරුණා මෘදුතා සඳහා රාග නො වූ රාගප්‍රතිරූපකයෙක් ඇතැ යි ද, ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය කෞකෘත්‍ය සඳහා ද්වේෂ නො වූ ද්වේෂප්‍රතිරූපකයෙක් ඇතැයි ද, හසිතොත්පාදය සඳහා මෝහ නො වූ මොහප්‍රතිරූපකයෙක් ඇතැ යි ද, දුර්‍මඞකු පුද්ගලයනට නිග්‍රහත්, ප්‍රියශීලි භික්‍ෂුනට අනුග්‍රහත්, පාපගර්‍හාත්, කල්‍යාණප්‍රශංසාත්, ආයුෂ්මත් පිළින්‍දවච්ඡ තෙරණුවන්ගේ වසලවාදයත්, භාග්‍යවතුන් වහන්සේගේ ඛෙළාසිකවාදයත් මෝඝපුරිසවාදයත් සඳහා ක්ලේශ නො වූ ක්ලේශප්‍රතිරූපකයෙක් ඇතැයි ද අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘පතිරූප කථා’ එයි.]
1. ස. පු: රාග නො වූ රාගප්‍රතිරූපකයෙක් ඇත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්‍ශ නො වූ ස්පර්‍ශප්‍රතිරූපකයෙක් ඇත් ද, වේදනා නො වූ වේදනා ප්‍රතිරූපකයෙක් ඇත් ද, සංඥා නො වූ සංඥාප්‍රතිරූපකයෙක් ඇත් ද, චේතනා නො වූ චේතනාප්‍රතිරූපකයෙක් ඇත් ද, චිත්ත නො වූ චිත්තප්‍රතිරූපකයෙක් ඇත් ද, ශ්‍රද්ධා නො වූ ශ්‍රද්ධාප්‍රතිරූපකයෙක් ඇත් ද, වීර්‍ය්‍ය නො වූ වීර්‍ය්‍යප්‍රතිරූපකයෙක් ඇත් ද, ස්මෘති නො වූ ස්මෘතිප්‍රතිරූපකයෙක් ඇත් ද, සමාධි නො වූ සමාධිප්‍රතිරූපකයෙක් ඇත් ද, ප්‍රඥා නො වූ ප්‍රඥාප්‍රතිරූපකයෙක් ඇත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ද්වේෂ නො වූ ද්වේෂප්‍රතිරූපකයෙක් ඇත් ද ... මෝහ නො වූ මොහප්‍රතිරූපකයෙක් ඇත් ද ... ක්ලේශ නො වූ ක්ලේශප්‍රතිරූපකයෙක් ඇත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්‍ශ නො වූ ස්පර්‍ශප්‍රතිරූපකයෙක් ඇත් ද … ප්‍රඥා නො වූ ප්‍රඥාප්‍රතිරූපකයෙක් ඇත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
පතිරූප කථා නිමි.
23. 5.
අපරිනිප්ඵන්න කථා
[“දුක්ඛමෙව හි සම්හොති” ආදි වචන නිසා දුඃඛය මැ පරිනිෂ්පන්න වෙයි. අවශේෂ ස්කන්‍ධායතනධාතුඉන්‍ද්‍රිය ධර්‍මයෝ අපරිනිෂ්පන්න වෙතියි සමහර උත්තරාපථකයන් හා හේතුවාද නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අපරිනිෂ්ඵන්න කථා’ එයි.]
1. ස. පු: රූපය අපරිනිෂ්පන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපය අනිත්‍ය නො, සංස්කෘත නො, ප්‍රතීත්‍යසමුත්පන්න නො, ක්‍ෂයස්වභාව ඇත්තේ නො, ව්‍යයස්වභාව ඇත්තේ නො, විරාගස්වභාව ඇත්තේ නො, නිරෝධස්වභාව ඇත්තේ නො, විපරිණාමස්වභාව ඇත්තේ නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: රූපය අනිත්‍ය, සංස්කෘත, ප්‍රතීත්‍යසමුත්පන්න නො? ක්‍ෂයස්වභාව, ව්‍යයස්වභාව, විරාගස්වභාව, නිරෝධස්වභාව, විපරිණාමස්වභාව ඇත්තේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් රූපය අනිත්‍ය, සංස්කෘත … විපරිණාමස්වභාව ඇත්තේ වී නම්,
ස. පා: භවත, ‘රූපය අපරිනිෂ්පන්න වෙති’යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: දුඃඛය මැ පරිනිෂ්පන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘යමක් අනිත්‍ය වී නම් ඒ දුඃඛ යැ’යි වදාරනලද නො? රූපය අනිත්‍ය වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් “යමක් අනිත්‍ය වී නම් ඒ දුඃඛ වේ”යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද වී නම්, රූපය අනිත්‍ය වී නම්,
ස. පා: භවත, දුඃඛය මැ පරිනිෂ්පන්න වෙතියි නො කියැයුතු මැ යැ.