23. 5.
අපරිනිප්ඵන්න කථා
[“දුක්ඛමෙව හි සම්හොති” ආදි වචන නිසා දුඃඛය මැ පරිනිෂ්පන්න වෙයි. අවශේෂ ස්කන්‍ධායතනධාතුඉන්‍ද්‍රිය ධර්‍මයෝ අපරිනිෂ්පන්න වෙතියි සමහර උත්තරාපථකයන් හා හේතුවාද නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අපරිනිෂ්ඵන්න කථා’ එයි.]
1. ස. පු: රූපය අපරිනිෂ්පන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපය අනිත්‍ය නො, සංස්කෘත නො, ප්‍රතීත්‍යසමුත්පන්න නො, ක්‍ෂයස්වභාව ඇත්තේ නො, ව්‍යයස්වභාව ඇත්තේ නො, විරාගස්වභාව ඇත්තේ නො, නිරෝධස්වභාව ඇත්තේ නො, විපරිණාමස්වභාව ඇත්තේ නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: රූපය අනිත්‍ය, සංස්කෘත, ප්‍රතීත්‍යසමුත්පන්න නො? ක්‍ෂයස්වභාව, ව්‍යයස්වභාව, විරාගස්වභාව, නිරෝධස්වභාව, විපරිණාමස්වභාව ඇත්තේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් රූපය අනිත්‍ය, සංස්කෘත … විපරිණාමස්වභාව ඇත්තේ වී නම්,
ස. පා: භවත, ‘රූපය අපරිනිෂ්පන්න වෙති’යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: දුඃඛය මැ පරිනිෂ්පන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘යමක් අනිත්‍ය වී නම් ඒ දුඃඛ යැ’යි වදාරනලද නො? රූපය අනිත්‍ය වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් “යමක් අනිත්‍ය වී නම් ඒ දුඃඛ වේ”යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද වී නම්, රූපය අනිත්‍ය වී නම්,
ස. පා: භවත, දුඃඛය මැ පරිනිෂ්පන්න වෙතියි නො කියැයුතු මැ යැ.
3. ස. පු: වේදනා … සංඥා … සංස්කාරයෝ … විඥානය … චක්‍ෂුරායතන … ධර්‍මායතන … චක්‍ෂුර්ධාතු … ධර්‍මධාතු … චක්‍ෂුරින්‍ද්‍රිය … අඤ්‍ඤාතාවින්‍ද්‍රිය අපරිනිෂ්පන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අඤ්‍ඤාතාවින්‍ද්‍රිය අනිත්‍ය නො වේ ද … විපරිණාමස්වභාව ඇත්තේ නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: අඤ්‍ඤාතාවින්‍ද්‍රිය අනිත්‍ය, සංස්කෘත … විපරිණාමස්වභාව ඇත්තේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අඤ්‍ඤාතාවින්‍ද්‍රිය අනිත්‍ය, සංස්කෘත, ප්‍රතීත්‍යසමුත්පන්න, ක්‍ෂයධර්‍ම, ව්‍යයධර්‍ම, විරාගධර්‍ම, නිරෝධධර්‍ම, විපරිණාමධර්‍ම වී නම්,
ස. පා: භවත, ‘අඤ්‍ඤාතාවින්‍ද්‍රිය, අපරිනිෂ්පන්න වෙති’යි නො කියැයුතු මැ යැ.
4. ස. පු: දුඃඛය මැ පරිනිෂ්පන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘යමක් අනිත්‍ය නම් ඒ දුඃඛ වේ’ යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො? අඤ්‍ඤාතාවින්‍ද්‍රිය අනිත්‍ය නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් ‘යමක් අනිත්‍ය වී නම් ඒ දුඃඛ වේ’යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද වී නම්, අඤ්‍ඤාතාවින්‍ද්‍රිය අනිත්‍ය වී නම්,
ස. පා: භවත, ‘දුඃඛය මැ පරිනිෂ්පන්න වෙති’යි නො කියැයුතු මැ යැ.
අපරිනිෂ්ඵන්න කථා නිමි.
තෙවිසිවන වග නිමි.