කථාවස්තුප්‍රකරණය
ඒ භගවත් අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
ප්‍රථම වර්‍ගය
1. 1.
පුද්ගලකථා
[අප බුදුන් පිරිනිවි දෙවන සියවසෙහි ‘ථේරවාද’යෙන් බිඳීගිය ‘වජ්ජිපුත්තක’ නම් ඇදුරොලෙකැ, තත්ප්‍රභව වූ ‘සමමිතිය’ නම් ඇදුරොලෙකැ යි ඇදුරොල්හු දෙදෙනෙක් වූහ. ඔහු බුදුන් විසින් “අත්‍ථිපුග්ගලො අත්තහිතාය පටිපන්නෝ” යනාදීන් සම්මතසත්‍ය විසින් සඞ්කෙතවචනයෙන් වදාළ සූත්‍රප්‍රදේශයෙහි අර්‍ත්‍ථ වරදවා ගෙනැ භූතාර්‍ත්‍ථයෙන් පුද්ගලයෙක් සත්ත්‍වයෙක් ඇති’යි අභිනිවේශ කොට ජලචන්‍ද්‍රන්‍යායයෙන් විපරීතග්‍රාහ ඇති වූහ. සප්‍රත්‍යය – අප්‍රත්‍යාදී විසින් විභක්ත සප්තපඤ්චාශත් ස්කන්‍ධායතනධාතු ආදි ධර්‍මප්‍රභේදමාත්‍ර වත් මුත් යථාර්‍ත්‍ථයෙන් පුද්ගලයෙකු නැතියෙන් උන්ගේ ඡලවාදයට අවකාශ නො දෙනු සඳහා පළමු මැ තෙල “පුද්ගලකථා” ආරබ්ධ යි.]
1. සකවාදීපුච්ඡා: සත්‍යාර්‍ත්‍ථ (=භූතාර්‍ත්‍ථ) පරමාර්‍ත්‍ථ (=ආත්මප්‍රත්‍යක්‍ෂ සඞ්ඛ්‍යාත උත්තමාර්‍ත්‍ථ) වශයෙන් පුද්ගලයෙක් (=ආත්මයෙක්,) උපලභ්‍යමාන වේ ද? (නුවණ එළවා දන්නා ලැබේ ද?)
පරවාදීපටිඤ්ඤා: එසේ යැ.
සකවාදීඅනුයෝග: යම් (ස්කන්‍ධ – ආයතන – ධාතු – ඉන්‍ද්‍රිය විසින් ඇති සත්පනස් ප්‍රභේද වූ) සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද, ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ ද? (සත්පනස් ධර්‍මයන් කෙරෙහි රූපාදීන්ගේ රුප්පනාදී ආකාරයෙන් දක්නා සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථයෙක් ඇත් ද? තොප කියන පුද්ගලත් ඒ ආකාරයෙන් ලැබේ ද?)
පරවාදීපටික්ඛේප: එසේ නො කියැයුතු යැ.
සකවාදීනිග්ගහ: නිග්‍රහය පිළිගනුව.
අනුලෝමඨපනා: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්,
අනුලොමපාපනා: භවත, එහෙයින් (තොප විසින්) යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද, එ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් එ පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු මැ යැ.
අනුලෝම ආරෝපනා: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද, ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් එ පුද්ගල දන්නා ලැබේ යැ යි නො කියැයුතු යැ යි ද යන යම් බසක් එහි ලා කියෙහි නම් මේ තොපගේ මිථ්‍යායෙකි.
පටිලෝමඨපනා: යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද, එ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යැ යි ඉදින් නො කියැයුතු නම්, භවත, (තොප විසින්) සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි නො ද කියැයුතු මැ යැ.
පටිලොමපාපනා: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි ද,
පටිලෝම ආරෝපනා: යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද, ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යැ යි නො කියැයුතු යැ යි ද යම් බසක් එහි ලා කියෙහි නම් මේ තොපගේ මිථ්‍යායෙකි.
අනුලෝම පඤ්චක යි.
2. පරවාදීපුච්ඡා: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ ද?
සකවාදීපටිඤ්ඤා: එසේ යැ (නො දන්නා ලැබේ)
පරවාදීඅනුයෝග: යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද, ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් නො දන්නා ලැබෙ ද?
සකවාදීපටික්ඛෙප: එසේ නො කියැයුතු යැ. (සම්මති – පරමාර්‍ත්‍ථ සත්‍ය දෙක මිශ්‍ර කොට ඇසූයෙන් මෙසේ ප්‍රතික්‍ෂිප්ත යි.)
පරවාදීපටිකම්ම: මේ ප්‍රතික්‍රියාව පිළිගනුව.