22. 10.
ක්ෂණික කථා
[යම් හෙයෙකින් සර්වසංස්කෘත ධර්මයෝ අනිත්ය වෙත්ද, එහෙයින් ඔහු හැම ඒකචිත්තක්ෂණික වෙත් මැ යැ. අනිත්යතා සංස්කාරධර්මය සමාන වුව ද එකෙක් වහා බිඳෙයි, එකෙක් වහා නො බිඳෙයි. මෙහි ලා කවර නියමයෙක් වේ දැ’යි පූර්වශෛල අපරශෛලනිකාය වාසීන් ගේ ලබ්ධියෙක් ඇද්ද උන් ගෙන ‘ඒකචිත්තක්ඛණික කථා’ එයි.]
1. ස. පු: සර්වධර්මයෝ ඒකචිත්තක්ෂණික වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චිත්තයෙහි මහාපෘථිවිය පිහිටා ද, මහා සමුද්රය පිහිටා ද, සිනේරුපර්වතරාජයා පිහිටා ද, අබ්ධාතු පිහිටා ද, තේජස් පිහිටා ද, වායු පිහිටා ද, තෘණකාෂ්ටවනස්පතීහු පිහිටත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: හැම ධර්මයෝ ඒකචිත්තක්ෂණික වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්ෂුරායතනය චක්ෂුර්විඥානය හා සමග සහජාත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: චක්ෂුරායතනය චක්ෂුර්විඥානය හා සමග සහජාත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආයුෂ්මත් ශාරිපුත්ර තෙරණුවෝ තෙල වදාළාහු නො: “ඇවැත්නි, අධ්යාත්මික චක්ෂුසත් නො බිඳුණේ වේ ද, බාහිර රූපයෝත් ආපාථයට (හමුවට) නො එත් ද, තදනුරූප (එයින් උපන්) මනසිකාරයත් නො වේ ද, ඒ තාක් තදනුරූප (එයින් උපන්) විඥානයාගේ ප්රාදුර්භාවය නො වේ මැ යි. ඇවැත්නි, අධ්යාත්මික චක්ෂුසත් නො බිඳුණේ වේ ද, බාහිර රූපයෝත් ආපාථයට එත් ද, තදනුරූප මනසිකාරයත් නො වේ ද, ඒ තාක් තදනුරූප විඥානයාගේ ප්රාදුර්භාවය නො මැ වෙයි. ඇවැත්නි, යම් හෙයකින් ආධ්යාත්මික චක්ෂුසත් නො බිඳුණේ වේ ද, බාහිර රූපයෝත් ආපාථයට එත් ද, තදනුරූප මනසිකාරත් වේ ද, මෙසේ තදනුරූපවිඥානයාගේ ප්රාදුර්භාවය වේ” ය යි වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් ‘චක්ෂුරායතනය චක්ෂුර්විඥානය හා සහජාත වෙති’යි නො කියැයුතු යැ.
4. ස. පු: සර්වධර්මයෝ ඒකචිත්තක්ෂණික වෙත් ද?
ප. පටි: එසේ යැ.
ස. අනු: ශ්රෝත්රායතනය … ඝ්රාණායතනය … ජිහ්වායතනය … කායායතනය කායවිඥානය හා සහජාත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: කායායතනය කායවිඥානය හා සහජාත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආයුෂ්මත් ශාරිපුත්ර තෙරණුවෝ තෙල වදාළාහු නො: “ඇවැත්නි. අධ්යාත්මික කයත් නො බිඳුණේ වේ ද, බාහ්ය ස්ප්රෂ්ටව්යයෝත් ආපාථයට නො එත් ද, ... ඇවැත්නි, අධ්යාත්මික කයත් නොබිඳුණේ වේ ද, බාහ්ය ස්ප්රෂ්ටව්යයෝත් ආපාථයට එත් ද, … ඇවැත්නි, යම් හෙයෙකින් ආධ්යාත්මික කයත් නො බිඳුණේ වේ ද, බාහ්ය ස්ප්රෂ්ටව්යයෝත් ආපාථයට එත් ද, තදනුරූප මනසිකාරත් වේ ද, මෙසේ තදනුරූපවිඥානභාගයාගේ ප්රාදුර්භාවය වේ” යයි වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් ‘කායායතනය කායවිඥානය හා සහජාත වෙතී’ යි නො කියැයුතු යැ.
6. ප. පු: හැම දහම්හු ඒකචිත්තක්ෂණිකයහ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: හැම දහම්හු නිත්ය ධ්රැව ශාශ්වත අවිපරිණාම ස්වභාව ඇත්තාහු වෙත් ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. පා: එකරුණින් හැම දහම්හු ඒකචිත්තක්ෂණික වෙති.
ක්ෂණික කථා නිමි.
ද්වාවිංශද්වර්ගය නිමි.
එහි උද්දානය:
පරිනිබ්බානකථා යැ කුසලචිත්තකථා යැ ආනෙඤ්ජ කථා යැ ධම්මාභිසමයකථා යැ තිස්සො’පි කථා යැ අබ්යාකතකථා යැ ආසේවනපච්චය කථා යැ ඛණිකකථා යි.