ද්වාවිංශද්වර්ගය
22. 1.
පරිනිබ්බාන කථා
[රහත්හු සර්වඥවිෂයයෙහි නො පුහුන් සංයෝජන ඇති වැ මැ පිරිනිවෙති. එහෙයින් කිසි සංයොජනයක් නො පියා පිරිනිවීමෙක් ඇතැ’යි අන්ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘පරිනිබ්බාන කථා’ එයි.]
1. ස. පු: කිසි සංයොජනයක් නො පියා පිරිනිවීමෙක් ඇත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කිසි සත්කායදෘෂ්ටියක් නො පියා … අනපත්රපාවක් නො පියා පිරිනිවීමෙක් ඇත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: කිසි සංයොජනයක් නො පියා පිරිනිවීමෙක් ඇත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත් සරාග … සක්ලේශ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: රහත් නිරාග … නික්ලේශ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් රහත් නිරාග … නික්ලේශ වී නම්,
ස. පා: භවත, ‘කිසි සංයොජනයක් නො පියා පිරිනිවීමෙක් ඇතැ’යි නො කියැයුතු මැ යැ.
3. ප. පු: ‘කිසි සංයොජනයක් නො පියා පිරිනිවීමෙක් ඇතැ’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: රහත් හැම බුද්ධවිෂය දන්නේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. පා: එකරුණින් ‘කිසි සංයොජනයක් නො පියා පිරිනිවීමෙක්’ ඇත.
පරිනිබ්බාන කථා නිමි.
22. 2.
කුසලචිත්ත කථා
[රහත්හු ස්මෘතිවිපුලතාවට පැමිණියාහු පිරිනිවෙන්නාහු දු ස්මෘති සම්ප්රජන්යයෙන් යුක්ත වැ මැ පිරිනිවෙති. එහෙයින් රහත්හු ‘කුශලචිත්ත ඇති වැ පිරිනිවෙති’යි අන්ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘කුසලචිත්ත කථා’ එයි.]
1. ස. පු: රහත්හු කුශල සිත් ඇති වැ පිරිනිවෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු පුණ්යාභිසංස්කාර රැස් කෙරෙමින්, ආනෙඤ්ජාභිසංස්කාර රැස් කෙරෙමින්, ගතිසංවර්තනික කර්ම කෙරෙමින්, භවසංවර්තනික කර්ම කෙරෙමින්, ඓශ්චර්ය්යසංවර්තනික කර්ම කෙරෙමින්, ආධිපත්යසංවර්තතික කර්ම කෙරෙමින්, මහාභෝග සංවර්තනික කර්ම කෙරෙමින්, මහාපරිවාරසංවර්තනික කර්ම කෙරෙමින්, දේවසෞභාග්යසංවර්තනික කර්ම කෙරෙමින්, මනුෂ්යසෞභාග්යසංවර්තනික කර්ම කෙරෙමින්, පිරිනිවෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: රහත්හු කුශල සිත් ඇති වැ පිරිනිවෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු (කුශලාකුශලවිපාක) රැස් කෙරෙමින් විධ්වංශන කෙරෙමින් (කෙලෙසුන්) දුරු කෙරෙමින් (තෘෂ්ණා - මාන - දෘෂ්ටි විසින්) උපාදාන කෙරෙමින් (තෘෂ්ණාවශයෙන්) හිවමින් (මාන වශයෙන්) උත්කර්ෂණ කෙරෙමින් (කෙලෙස්ගිනි) නිවමින් දල්වමින් පිරිනිවෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: රහත්හු (කුශලාකුශල විපාක) නො මැ රැස් කෙරෙති, විධ්වංශන නො කෙරෙති, විධ්වංශන කොට සිටියාහු නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් රහත්හු කුශලාකුශල විපාක නො මැ රැස් කෙරෙත් නම්, විධ්වංශන නො කෙරෙත් නම්, විධ්වංශන කොට සිටියාහු නම්,
ස. පා: භවත, රහත්හු කුශලසිත් ඇති වැ පිරිනිවෙති’යි නො කියැයුතු මැ යැ.