22. 5-7.
තිස්සෝපි කථා
[‘උපන් නො බෝකල් ඇති ශ්‍රෝතාපන්නයන්ගේ අර්‍හත්‍වප්‍රාප්තිය ද, සුප්පවාසා උවැසියගේ සත්වැසි ගර්‍භය ද දැක ගර්‍භශය්‍යායෙහි අර්‍හත්ත්‍වත්‍රාප්ති ඇතැයි ද, ස්වප්නයෙහි ආකාශගමනාදිය දැක එහි ‘ධර්‍මාභිසමයත් අර්‍හත්ත්‍වප්‍රාප්තියත් ඇතැ’යි ද, උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘තිස්සෝපි කථා’ එයි.]
1. ස. පු: ගර්‍භශය්‍යායෙහි අර්‍හත්ත්‍වප්‍රාප්ති ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නිදාසිටියාහට පමාවූවහුට මුළාසී ඇතියාහට සම්‍යග්ඥාන නැතියාහට රහත්බව ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ස්වප්නගතයාහට ධර්‍මාභිසමය ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සුප්තයාහට ප්‍රමත්තයාහට මුෂිතස්මෘති ඇතියාහට සම්‍යග්ඥාන නැතියාහට ධර්‍මාභිසමය ඇද්ද?
ප. පු එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ස්වප්නගතයාහට අර්‍හත්ත්‍වප්‍රාප්ති ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සුප්තයාහට ප්‍රමත්තයාහට මුෂිතස්මෘති ඇතියාහට සම්‍යග්ඥාන නැතියාහට ධර්‍මාභිසමය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
තිස්සෝපි කථා නිමි.
22. 8.
අබ්‍යාකත කථා
[“අත්‍ථේසා භික්ඛවේ චේතනා, සා ච ඛො අබ්බොහාරිකා” යන වචන හෙයින් ස්වප්නගතයාගේ හැම චේතනා අව්‍යාකෘත වෙති’යි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අබ්‍යාකත කථා’ එයි.]
1. ස. පු: ස්වප්නගතයාගේ හැම සිත් අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්වප්නයෙන් ප්‍රාණඝාත කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් ස්වප්නයෙන් ප්‍රාණඝාත කරන්නේ වී නම්?
ස. පා: භවත, ‘ස්වප්නගතයාගේ හැම සිත් අව්‍යාකෘත වෙති’යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: ස්වප්නයෙන් අයිනාදන් ගන්නේ වේ ද? … මුසවා බණන්නේ වේ ද … පිසුනුබස් කියන්නේ වේ ද … පරොස්බස් බණන්නේ වේ ද … පලප් බණන්නේ වේ ද … ගෘහසන්‍ධි සිඳුනේ වේ ද … ගම් වොලොගෙන යන්නේ වේ ද … එක් ගෙයක් වොලොගන්නේ වේ ද … කඬපලාසොරකමට මහමග සිටුනේ වේ ද … පරඹුවන් කරා යන්නේ වේ ද … ගම් නසනකම් කරනුයේ වේ ද … නියම්ගම් නසන කම් කරනුයේ වේ ද … ස්වප්නයෙන් මෛථුනධර්‍ම සේවන කරන්නේ වේ ද … ස්වප්න ගතයාහට අසුචි (ශුක්‍ර) මිදෙන්නේ වේ ද … ස්වප්නයෙන් දන් දෙන්නේ වේ ද … සිවුරු දෙන්නේ වේ ද … පිඬුවා දෙන්නේ වේ ද … සෙනසුන් දෙන්නේ වේ ද … ගිලන්පස බෙහෙත් පිරිකර දෙන්නේ වේ ද … ඛාද්‍ය දෙන්නේ වේ ද … බොජුන් දෙන්නේ වේ ද … පැන් දෙන්නේ වේ ද … සෑ වඳනේ වේ ද … සෑයෙහි මාලා නගන්නේ වේ ද … ගන්‍ධ නගන්නේ වේ ද … විලෙවුන් නඟන්නේ වේ ද … සෑය පැදකුණු කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් ස්වප්නයෙන් චෛත්‍යය ප්‍රදක්‍ෂිණා කරන්නේ වී නම්,
ස. පා: භවත, ‘ස්වප්නගතයාගේ හැම සිත් අව්‍යාකෘත වෙති’යි නො කියැයුතු මැ යැ.