22. 2.
කුසලචිත්ත කථා
[රහත්හු ස්මෘතිවිපුලතාවට පැමිණියාහු පිරිනිවෙන්නාහු දු ස්මෘති සම්ප්රජන්යයෙන් යුක්ත වැ මැ පිරිනිවෙති. එහෙයින් රහත්හු ‘කුශලචිත්ත ඇති වැ පිරිනිවෙති’යි අන්ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘කුසලචිත්ත කථා’ එයි.]
1. ස. පු: රහත්හු කුශල සිත් ඇති වැ පිරිනිවෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු පුණ්යාභිසංස්කාර රැස් කෙරෙමින්, ආනෙඤ්ජාභිසංස්කාර රැස් කෙරෙමින්, ගතිසංවර්තනික කර්ම කෙරෙමින්, භවසංවර්තනික කර්ම කෙරෙමින්, ඓශ්චර්ය්යසංවර්තනික කර්ම කෙරෙමින්, ආධිපත්යසංවර්තතික කර්ම කෙරෙමින්, මහාභෝග සංවර්තනික කර්ම කෙරෙමින්, මහාපරිවාරසංවර්තනික කර්ම කෙරෙමින්, දේවසෞභාග්යසංවර්තනික කර්ම කෙරෙමින්, මනුෂ්යසෞභාග්යසංවර්තනික කර්ම කෙරෙමින්, පිරිනිවෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: රහත්හු කුශල සිත් ඇති වැ පිරිනිවෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු (කුශලාකුශලවිපාක) රැස් කෙරෙමින් විධ්වංශන කෙරෙමින් (කෙලෙසුන්) දුරු කෙරෙමින් (තෘෂ්ණා - මාන - දෘෂ්ටි විසින්) උපාදාන කෙරෙමින් (තෘෂ්ණාවශයෙන්) හිවමින් (මාන වශයෙන්) උත්කර්ෂණ කෙරෙමින් (කෙලෙස්ගිනි) නිවමින් දල්වමින් පිරිනිවෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: රහත්හු (කුශලාකුශල විපාක) නො මැ රැස් කෙරෙති, විධ්වංශන නො කෙරෙති, විධ්වංශන කොට සිටියාහු නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් රහත්හු කුශලාකුශල විපාක නො මැ රැස් කෙරෙත් නම්, විධ්වංශන නො කෙරෙත් නම්, විධ්වංශන කොට සිටියාහු නම්,
ස. පා: භවත, රහත්හු කුශලසිත් ඇති වැ පිරිනිවෙති’යි නො කියැයුතු මැ යැ.
3. ස. අනු: රහත්හු (කෙලෙසුන්) නො මැ දුරු කෙරෙති, (තෘෂ්ණා - මාන - දෘෂ්ටි විසින්) උපාදාන නො කෙරෙති, (කෙලෙසුන්) දුරු කර සිටියාහු නො … (තෘෂ්ණා විසින්) නො මැ හිවෙති, (මාන විසින්) උත්කර්ෂණ නො කෙරෙති, (තෘෂ්ණා බන්ධන) දුරු කොට සිටියාහු … රහත්හු (කෙලෙස් ගිනි) නො මැ නිවෙති, නො දල්වති, නිවා සිටියාහු නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් රහත්හු විධූපන නො මැ කෙරෙත් නම් සංධූපන නො කෙරෙත් නම් විධූපන කොට සිටියාහු නම්,
ස. පා: භවත, ‘රහත්හු කුසල්සිත් ඇති වැ පිරිනිවෙති’යි නො කියැයුතු මැ යැ.
4. ප. පු: ‘රහත්හු කුසල්සිත් ඇති වැ පිරිනිවෙතී’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු එළැඹසිටි සිහි ඇත්තාහු ස්මෘති ඇත්තාහු සම්යග්ඥාන ඇත්තාහු පිරිනිවෙන්නාහු නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් රහත්හු එළැඹසිටි සිහි ඇති වැ ස්මෘතිමත් වැ සම්යග්ඥාන ඇති වැ පිරිනිවෙන්නාහු නම්,
ප. පා: එකරුණින් භවත, ‘රහත්හු කුසල්සිත් ඇති වැ පිරිනිවෙන්නාහ’යි කියැයුතු මැ යි.
කුසලචිත්ත කථා නිමි.