2. 8.
කුක්කුළකථා
[“සබ්බං භික්ඛවේ ආදිත්තං, සබ්බේ සඞ්ඛාරා දුක්ඛා”යි - මහණෙනි, හැම ආදීප්ත යැ, සර්‍ව සංස්කාරයෝ දුඃඛයහයි වදාළ මේ ආදි සූත්‍රයන් නුනුවණින් ගෙන නිෂ්පර්‍ය්‍යායවශයෙන් “සර්‍වසංස්කාරයෝ සාළඟුරුමුසු හුණුඅළු වැනියහ”යි ලබ්ධි ගත් වාදීහු ඇත. ගොකුලිකයන් සෙයිනි. උන්ගේ වාද විවෙචන කරන්නට කුක්කුළ කථා එයි.]
1. ස. පු: සර්‍වසංස්කාරයෝ කොටස් විසින් බෙදුම් නො කොට හුණුහළු වැනි වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සුඛවේදනා ඇත්තේ මැ නු: කායිකසුඛ යැ චෛතසිකසුඛ යැ දිව්‍යසුඛ යැ මානුෂසුඛ යැ ලාභසුඛ යැ සත්කාරසුඛ යැ යානසුඛ යැ ශයනසුඛ යැ ඓශ්චර්‍ය්‍යසුඛ යැ ආධිපත්‍යසුඛ යැ ගෘහීසුඛ යැ ශ්‍රාමණ්‍යසුඛ යැ සාස්‍රවසුඛ යැ අනාස්‍රවසුඛ යැ උපධිසුඛ යැ නිරුපධිසුඛ යැ සාමිෂසුඛ යැ නිරාමිෂසුඛ යැ සප්‍රීතිකසුඛ යැ නිෂ්ප්‍රීතිකසුඛ යැ ධ්‍යානසුඛ යැ විමුක්තිසුඛ යැ කාමසුඛ යැ නෛෂ්ක්‍රම්‍යසුඛ යැ ප්‍රවිවේකසුඛ යැ උපශමසුඛ යැ සම්බෝධසුඛ යැ කියා යි.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් කායිකසුඛ යැ ... සම්බෝධසුඛ යැ’යි සුඛවේදනා ඇත් නම්,
අනු. පා: භවත, එකරුණින් සර්‍වසංස්කාරයෝ අවධි නො කොට උෂ්ණභෂ්මසදෘශයහයි නො කියැයුතු.
2. ස. පු: සර්‍වසංස්කාරයෝ අනවධි කොට උෂ්ණභෂ්මසදෘශ වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘කායිකදුඃඛ යැ චෛතසිකදුඃඛ යැ ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍ය උපායාසයහ’යි මෙසේ සර්‍වසංස්කාරයෝ දුඃඛවේදනා සහගත වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
3. ස. පු: ‘සර්‍වසංස්කාරයෝ අවධි නො කොට කුක්කුල සදෘශයහ’යි නො කියැයුතු ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: “මහණෙනි, හැම ආදීප්ත යැ. මහණෙනි, කිනම් හැම ආදීප්ත ද? මහණෙනි, චක්‍ෂුස ආදීප්ත යැ. රූපයෝ ආදීප්තයහ. චක්‍ෂුර්විඥානය ආදීප්ත යැ. චක්‍ෂුඃසංස්පර්‍ශය ආදීප්ත යැ චක්‍ෂුඃසංස්පර්‍ශ හේතුයෙන් සුඛ වේවයි දුඃඛ වේවයි අදුඃඛාසුඛ වේවයි යම් මැ වේදයිතයෙක් උපදනේ වේ ද, එ ද ආදීප්ත යැ. කුමකින් ආදීප්ත වේ ද? රාගාග්නියෙන් ද්වේෂාග්නියෙන් මොහාග්නියෙන් ආදීප්ත යැ. ජාති ජරා මරණ ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍ය උපායාසයෙන් ආදීප්ත යැ යි කියමි. ශ්‍රෝතය ආදීප්ත යැ ශබ්දයෝ ආදීප්තයහ ... ඝ්‍රාණය ආදීප්ත යැ ගන්‍ධයෝ ආදීප්තයහ ... ජිහ්වා ආදීප්ත යැ රසයෝ ආදීප්තයහ ... කාය ආදීප්ත යැ ස්පර්‍ශයෝ ආදීප්තයහ ... මනස ආදීප්ත යැ ධර්‍මයෝ ආදීප්තයහ ... මනෝවිඥාන ආදීප්ත යැ මනඃසංස්පර්‍ශ හේතුයෙන් සුඛ වේවයි දුඃඛ වේවයි අදුඃඛාසුඛ වේවයි යම් මැ වේදයිතයෙක් උපදනේ වේ ද, එ ද ආදීප්ත යි. කුමකින් ආදීප්ත වේ ද, රාගාග්නියෙන් ද්වේෂාග්නියෙන් මොහාග්නියෙන් ආදීප්ත යැ. ජාති ජරා මරණ ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍ය උපායාසයෙන් ආදීප්ත යැ යි කියමි” භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එකරුණින් ‘සර්‍වසංස්කාරයෝ අනවධි කොට හුණුබහස්ම වැනියහ’ යි කියමි.
4. ස. පු: සර්‍වසංස්කාරයෝ අනවධි කොට උෂ්ණභස්ම සදෘශ වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නො: “මහණෙනි, කාමගුණයෝ මොහු පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ රජනීය වූ චක්‍ෂුර්විඥේය රූපයෝ යැ, ශ්‍රෝතවිඥේය ශබ්දයෝ යැ ... ඝ්‍රාණවිඥේය ගන්‍ධයෝ යැ ... ජිහ්වාවිඥේය රසයෝ යැ ... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ රජනීය වූ කායවිඥේය ස්පර්‍ශයෝ යි. මහණෙනි, මුහු පඤ්චකාමගුණයහ”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එ කරුණින් “සර්‍වසංස්කාරයෝ අවධි රහිත කොට උෂ්ණභස්ම සදෘශයහ යි නො කියැයුතු යැ.