2. 5.
වචීභේදකථා
[ස්රෝතාපත්තිමාර්ගක්ෂණයෙහි දී පළමු දැහැන් සමවන් අරීපුඟුල් ‘දුකැයි කියා වාග්භේද කෙරෙති’යි පූර්වශෛලීය නිකායාදීන් සෙයින් ලබ්ධිගත් වාදී කෙනෙකුන්ගේ විරුද්ධවාද බිඳුනට වචීභේදකථා එයි.]
1. ස. පු: දැහැන් සමවන්නහුට වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හැම භවයෙහි මැ සමවන්නවුනට වාග්භේද ඇද්ද?
ප. පටි: (අරූපභවය පියනු පිණිස පිළිතුරු දෙයි:) එසේ නො කියැයුතු මැ යැ ...
2. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හැම සමාපත්තිකාලයෙහි මැ සමවන්නවුනට වාග්භේද ඇද්ද?
ප. පටි: (ප්රථමමාර්ගක්ෂණයෙහි ප්රථමධ්යානිකසමාපත්තිකාලය තබා තදන්ය සමාපත්තිකාල සඳහා පිළිතුරු දෙයි:) එසේ නො කියැයුතු මැ යැ ...
3. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හැම සමවත් සමවන්නවුනට මැ වාග්භේද ඇද්ද?
ප. පටි: (ලොවීසමවත් සමවන්නවුන් සඳහා පිළිතුරු දෙයි:) එසේ නො කියැයුතු මැ යැ ...
4. ස. පු: සමවන්නවුනට වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හැම සමවත්හි වාග්භේද ඇද්ද?
ප. පටි: (ලෝකෝත්තර ද්විතීයධ්යානාදිය හා හැම ලොවී සමවත් සඳහා පිළිතුරු දෙයි:) එසේ නො කියැයුතු මැ යැ ...
5. ස. පු: සමවන්නවුනට වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමවන්නහුට කායභෙද ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
6. ස. පු: සමවන්නවුනට කායභෙද නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමවන්නහුට වාග්භේද නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
7. ස. පු: සමවන්නවුනට වාචා ඇත. වාග්භේද ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමවන්නහුට කාය ඇත. කායභෙද ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
8. ස. පු: සමවන්නහුට කාය ඇත. කායභෙද නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමවන්නහුට වාචා ඇත. වාග්භේද නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
9. ස. පු: (ඉදින් හේ දුඃඛ යැ’යි බෙණේ නම් ‘සමුදය’ ආදියද බණන්නේ යැ. එ ද නො බෙණේ නම්, අනෙකක් ද නො බණන්නේ යැ’යි චෝදනා කරන පිණිස) ‘දුකැ’ යි දන්නේ දුක යන බස බෙණේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘සමුදයැ’යි දන්මින් ‘සමුදයැ’ යි බස් බෙණේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
10. ස. පු: ‘දුකැ’ යි දන්මින් ‘දුකැ’ යි බස් බෙණේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘නිරෝධ යැ’ යි දන්මින් ‘නිරෝධ යැ’ යි බස් බෙණේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
11. ස. පු: ‘දුඃඛ යැ’ යි දන්මින් ‘දුඃඛ’ යයි බස් බෙණේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘මාර්ග’ යයි දන්මින් ‘මාර්ග’ යයි බස් බෙණේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
12. ස. පු: ‘සමුදය ’ යි දන්මින් ‘සමුදය’යි බස් නො බෙණේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘දුඃඛ’ යයි දන්මින් ‘දුඃඛ’ යයි බස් නො බෙණේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...