18. 2.
ධම්මදේසනා කථා
[“තුසීපුර වැඩවාස කරන භාග්යවත් බුදුහු දහම් දෙසන පිණිස නිර්මිත බුදුන් මිනිස්ලොවට එවූසේක. ආයුෂ්මත් අනඳ තෙරණුවන් විසින් ඔබගේ දහම් පිළිගෙන මිනිස්ලොව දෙසනලදි. භාග්යවත් බුදුන් විසින් දහම් දෙසනලද නො වේ” යයි වෛතුල්යවාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ධම්මදේසනාකථා’ එයි.]
1. ස. පු: ‘භාග්යවත් බුදුන් විසින් දහම් දෙසනලදැ’ යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: කවරක්හු විසින් දෙසනලද වේ ද?
ප. වි: නිර්මිත බුදුන් විසින් දෙසනලද වෙයි.
ස. අනු: නිර්මිත බුදුහු ජින, ශාස්තෘ, සම්යක්සම්බුද්ධ, සර්වඥ, සර්වදර්ශී, ධර්මාස්වාමී, ධර්මප්රතිසරණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: ‘භාග්යවත් බුදුන් විසින් දහම් දෙසනලදැ’ යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: කවරක්හු විසින් දේසිත වේ ද?
ප. වි: ආයුෂ්මත් අනඳ තෙරුන් විසින් දේසිත වෙයි.
ස. අනු: ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ජින, ශාස්තෘ, සම්යක්සම්බුද්ධ, සර්වඥ, සර්වදර්ශී, ධර්මාස්වාමී, ධර්මප්රතිසරණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: ‘භාග්යවත් බුදුන් විසින් ධර්මය දේශිත යැ’ යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් විසින් වදාරනලද මැ නො: “ශාරිපුත්රය, මම සැකෙවිනුදු දහම් දෙසන්නෙමි, ශාරීපුත්රය, මම විතරිනුදු දහම් දෙසන්නෙමි, ශාරීපුත්රය, මම් සකෙව්විතරිනුදු දහම් දෙසන්නෙමි. එතෙකුදුවුවත් වටහනුවෝ දුර්ලභයහ” යි වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් ‘භාග්යවත් බුදුන් විසින් ධර්මය දේශිත වෙයි.
4. ස. පු: ‘භාග්යවත් බුදුන් විසින් ධර්මය දේසිත වෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් විසින් වදාරනලද මැ නො: “මහණෙනි, මම අභිඥා පිණිස දහම් දෙසමි. අනභිඥා පිණිස නො දෙසමි. මහණෙනි, මම නිදාන සහිත කොට දහම් දෙසමි. නිදාන රහිත කොට නො දෙසමි. මහණෙනි, මම නෛර්ය්යාණික කොට දහම් දෙසමි. අනෛර්ය්යාණික කොට නො දෙසමි. මහණෙනි, අනභිඥා පිණිස නො වැ අභිඥා පිණිස දහම් දෙසන, අනිදාන කොට නො වැ සනිදාන කොට දහම් දෙසන, අනෛර්ය්යාණික කොට නො වැ නෛර්ය්යාණික කොට දහම් දෙසන මා විසින් අවවාද කටයුතු වෙයි. අනුශාසනා කටයුතු වෙයි. තවද මහණෙනි, තොපටත් ‘බුදුහු සම්යක්සම්බුද්ධයහ, ධර්මය ස්වාඛ්යාත යැ, සඞ්ඝයා සුප්රතිපන්න යැ’ යි තුෂ්ටියට නිස්සැ සිය මනවඩනට නිස්සැ. සොම්නසට නිස්සැ. මේ වෛයාකරණ බණනුලබන කල්හි දශසහශ්රිලෝකධාතුව වෙවුලී” යයි වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් ‘භාග්යවත් බුදුන් විසින් දහම් දෙසනලද වෙයි.
ධර්මදේශනා කථා නිමි.