අෂ්ටාදශ වර්‍ගය
18. 1.
මනුස්සලෝක කථා
[වෛතුල්‍යවාදීහු අප බුදුහු තුසී දෙව්ලොව උපන්නාහු එහි මැ වසන්නාහු වත් මුත් මිනිස්ලොවට නො එන්නාහ’ යි ද, නිර්මිතරූපමාත්‍රය මෙලොව දක්වන්නාහ’යි ද ලබ්ධි ගත්හ. උන්ගේ වාද බිඳුනට ‘මනුස්සලෝකකථා’ එයි.]
1. ස. පු: ‘භාග්‍යවත් බුදුරජහු මිනිස්ලොව සිටියහ’ යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: බුදුන් වුසූ චෛත්‍යයෝ ආරාම විහාර ග්‍රාමනිගමනගරයෝ රාෂ්ට්‍රයෝ ජනපදයෝ ඇත්තාහු නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් බුදුන් වුසූ චෛත්‍ය ආරාම විහාර ග්‍රාම නිගම නගර රාෂ්ට්‍ර ජනපද ඇත් නම්,
ස. පා: භවත, එකරුණින් ‘භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියහ’යි කියැයුතු මැ යැ.
2. ස. පු: ‘භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියහ’යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: බුදුහු ලුම්බිනී සල්වෙනෙහි උපන්නාහු නො වේ ද? බෝධිමූලයෙහි අභිසම්බුද්ධ වූවාහු නො වේ ද, බරණැස දී බුදුන් විසින් දම්සක් පවත්වන ලද නො වේ ද, චාපාල චෛත්‍යයෙහි දී ආයුසංස්කාර හරන ලද නො වේ ද, බුදුහු කුසිනාරායෙහි දී පිරිනිවියාහු නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් බුදුහු ලුම්බිනියෙහි උපන්නාහු නම් … බුදුහු කුසිනාරායෙහි පිරිනිවියාහු නම්,
ස. පා: භවත, එකරුණින් ‘භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියහ’යි කියැයුතු මැ යැ.
3. ස. පු: ‘භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියහ’යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: “මහණෙනි, මම එක් කලෙක උක්කට්ඨා නුවර සුභගවනයෙහි සාලරාජමූලයෙහි වාස කෙරෙමි”යි කියා ද “මහණෙනි, මම එක් කලෙක අභිසම්බුද්ධ වැ පළමු කොට උරුවෙල් දනවියෙහි අජපල් නුගරුක් මුල වාස කෙරෙමි” යි කියා ද, “මහණෙනි, මම එක් කලෙක රජගහ නුවර වේළුවනයෙහි කලන්‍දක නිවාප නම ආරාමයෙහි වාස කෙරෙමි” යි කියා ද, “මහණෙනි, මම එක් කලෙක සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වාස කෙරෙමි” යි කියා ද, “මහණෙනි, මම එක් කලෙක විසාලා මහනුවර මහාවනයෙහි කූටාගාරශාලායෙහි වාස කෙරෙමි” යි කියා ද බුදුන් විසින් වදාරනලද සූත්‍රාන්තයෙක් ඇත් මැ නු?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: භවත, එකරුණින් ‘භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියහ’යි.
4. ප. පු: භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියාහු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: බුදුහු ලෝකයෙහි ජාත වැ, ලෝකයෙහි සංවර්ධිත වැ, ලෝකය අභිභවා, ලෝකය හා අනුපලිප්ත වැ, වාස කරන්නාහු නො වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් බුදුහු ලෝකයෙහි ජාත වැ, ලෝකයෙහි සංවර්ධිත වැ, ලෝකය අභිභවා, ලෝකය හා අනුපලිප්ත වැ, වාස කරන්නාහු වේ නම්,
ප. පා: භවත, ‘භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියහ’යි නො කියැයුතු මැ වෙයි.
මනුස්සලෝක කථා නිමි.