16. 9.
රූපං රූපාවචරාරූපාවචරන්ති කථා
[“කාමාවචර කර්‍මය කළ බැවින් රූපය කාමාවචර වෙයි. එසෙයින් රූපාවචර අරූපාවචාර කර්‍මය කළ බැවින් රූපය රූපාවචර අරූපාවචර වියයුතු යයි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘රූපං රූපාවචරාරූපාවචරන්ති කථා’ එයි.]
1. ස. පු: රූපය රූපාවචර වූයේ ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සමාපත්තෙසිය (කුසල විපාක ක්‍රියා) සිත, උපපත්තෙසිය (ප්‍රතිසන්‍ධි) සිත, දිට්ඨධම්මසුඛවිහාර සිත, සමාපත්තෙසිය සිත හා, උපපත්තෙසිය සිත හා, දිට්ඨධම්මසුඛවිහාර සිත හා සමග සහගත වූයේ සහජාත වූයේ සංසෘෂ්ට වූයේ සම්ප්‍රයුක්ත වූයේ ඒකෝත්පාද වූයේ ඒකනිරෝධ වූයේ ඒකවස්තුක වූයේ ඒකාලම්බන වූයේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සමාපත්තෙසිය නො වූ සිත උපපත්තෙසිය නො වූ සිත දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත සමාපත්තෙසිය නො වූ සිත හා උපපත්තෙසිය නො වූ සිත හා දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත හා සමග සහගත සහජාත සංසෘෂ්ට සම්ප්‍රයුක්ත ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සමාපත්තෙසිය නො වූ උපපත්තෙසිය නො වූ දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත සමාපත්තෙසිය නො වූ සිත හා සමග ... ඒකාලම්බන වේ නම්,
ස. පා: භවත, ‘රූපාවචර රූපයෙක් ඇතැ’යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: රූපය අරූපාවචර වූයේ ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සමාපත්තෙසිය උපපත්තෙසිය දිට්ඨධම්මසුඛවිහාර සිත සමාපත්තෙසිය උපපත්තෙසිය දිට්ඨධම්මසුඛවිහාර සිත හා සමග සහගත සහජාත සංසෘෂ්ට සම්ප්‍රයුක්ත ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සමාපත්තෙසිය නො වූ සිත උපපත්තෙසිය නො වූ දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත සමාපත්තෙසිය නො වූ සිත හා සමග ... ඒකාලම්බන වූයේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සමාපත්තෙසිය නො වූ උපපත්තෙසිය නො වූ ... ඒකවස්තුක ඒකාලම්බන වේ නම්,
ස. පා: භවත ‘අරූපාවචර රූපයෙක් ඇතැ’යි නො කියැයුතු මැ යැ.
3. ප. පු: ‘රූපාවචර රූපයෙක් ඇත, අරූපාවචර රූපයෙක් ඇතැ’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: කාමාවචර කර්‍මය කළ බැවින් (උපන්.) රූපය කාමාවචර නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් කාමාවචර කර්‍මය කළ බැවින් (උපන්) රූපය කාමාවචර වී නම්,
ප. පා: භවත, එකරුණින් ‘රූපාවචර කර්‍මය කළ බැවින් උපන් රූපය රූපාවචර යැ, අරූපාවචර කර්‍මය කළ බැවින් උපන් රූපය අරූපාවචර යැ’යි කියැයුතු මැ යැ.
රූපං රූපාවචරාරූපාවචරන්ති කථා නිමි.