සොළොස්වනවග
16. 1.
නිග්ගහ කථා
[‘ලෝකයෙහි බලප්‍රාප්ත වූ ද වශීභූත වූ ද යම් කෙනෙක් ඇද්ද, ඉදින් ඔහු පරාගේ සිත වසඟ කොට නිගන්නට හෙවත් සංක්ලේශයෙන් වළහන්නට නො හැකි වෙත් නම්, උන්ගේ කිනම් බලප්‍රාප්තියෙක් ද? කවර වශීභාවයෙක් ද? ඒකාන්තයෙන් ඔහු බලප්‍රාප්තියෙනුත් වශීභාවයෙනුත් මෙරමාගේ සිත වසඟ කොට සංක්ලේශයෙන් වළහති’යි මහාසඞ්ඝිකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘නිග්ගහ කථා’ එයි.]
1. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ (වසඟ කරන්නේ) වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකකුගේ ‘සිත නො ඇලේවයි දූෂ්‍ය නො වේවයි මුළා නො වේවයි කිලිටි නො වේව’යි මෙසේ නිගන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකකුට උපන් ස්පර්‍ශය ‘නහමක් නිරුද්ධ වේව’යි මෙසේ නිගන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනෙකෙක් අනෙකකුට උපන් වේදනා ... උපන් සංඥා ... උපන් චේතනා ... උපන් සිත ... උපන් ශ්‍රද්ධා ... උපන් වීර්‍ය්‍ය ... උපන් ස්මෘති ... උපන් සමාධි ... උපන් ප්‍රඥා ‘නහමක් නිරුද්ධ වේව’යි මෙසේ නිගන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකකු සඳහා රාගය ප්‍රහාණ කෙරේ ද ... ද්වේෂය ප්‍රහාණ කෙරේ ද? ... අනපත්‍රපා ප්‍රහාණ කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකකුගේ අර්‍ත්‍ථ පිණිස මාර්‍ගය භවා ද? ... සීවටන් භවා ද? ... බෝධ්‍යඞ්ග භවා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකකුගේ අර්‍ත්‍ථ පිණිස දුඃඛය පරිඥා කෙරේ ද? සමුදය දුරු කෙරේ ද? නිරෝධය සාක්‍ෂාත් කෙරේ ද? මාර්‍ගය භවා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකකුට කාරක වේ ද? සුඛදුඃඛ පරකෘත වේ ද? අනෙකෙක් කෙරේ ද? අනෙකෙක් විඳුනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:
“තමා විසින් කළ පාපය තමා කෙලෙසන්නේ යැ. තමා විසින් නො කළ පාපය තමා මැ ශුද්ධ කරන්නේ යැ. ශුද්ධි අශුද්ධි දෙක තමා කෙරෙහි වෙයි. අනෙකෙක් අනෙකකු විශුද්ධ නො කරන්නේ යැ” යි
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් ‘අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
8. ප. පු: ‘අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ යැ’ යනු නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: බලප්‍රාප්තයෝ ඇත්තාහු නො? වශීභූතයෝ ඇත්තාහු නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් බලප්‍රාප්තයෝ ඇත්තාහු නම්, වශීභූතයෝ ඇත්තාහු නම්,
ප. පා: භවත එකරුණින් ‘අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ යැ’ යනු කියැයුතු මැ යැ.
නිග්ගහකථා නිමි.