16. 6.
රූපං සහෙතුකන්ති කථා
[මෙහි නිදානය ද ‘රූපංහෙතූති’ කථායෙහි කී පරිදි දත යුතු.]
1. ස. පු: රූපය සහේතුක වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අලෝභහේතුයෙන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අදෝසහේතුයෙන් ... අමොහහෙතුයෙන් ... ලෝභහේතුයෙන් දෝසහේතුයෙන් ... මොහහෙතුයෙන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: රූපය සහේතුක වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනාලම්බන නො? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අනාලම්බන වේ නම්, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නම්,
ස. පා: භවත, ‘රූපය සහේතුක වෙති’ නො කියැයුතු මැ යැ.
3. ස. පු: අලෝභය සහේතුක සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපය සහේතුක සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: අදෝසය සහේතුක වේ ද? ... අමෝහය ... ශ්‍රද්ධාව ... වීර්‍ය්‍යය ... ස්මෘතිය ... සමාධිය ... ප්‍රඥාව ... ලෝභය ද්වේෂය ... මෝහය ... මානය ... දෘෂ්ටිය ... විචිකිත්සාව ... සත්‍යානය ... ඖද්ධත්‍යය ... අහ්‍රීකය ... අනපත්‍රපාව සහේතුක සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපය සහේතුක සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: රූපය සහේතුක අනාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අලෝභය සහේතුක අනාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: රූපය සහේතුක අනාලම්බන වූයේ, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත්තේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අද්වේෂය සහේතුක ... අනපත්‍රතාව සහේතුක ... අනාලම්බන වූයේ, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත්තේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ප. පු: ‘රූපය සහේතුක වෙති’ නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: රූපය සප්‍රත්‍යය නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් රූපය සප්‍රත්‍යය වේ නම්,
ප. පා: භවත, එකරුණින් රූපය ‘සහේතු වෙතී’ කියැයුතු මැ යැ.
රූපං සහෙතූකන්තී කථා නිමි.